මැයි දිනයේ මහජන ආරක්ෂාවට පොලිසියෙන් 20,000 ක්


(ඉන්දිකා රාමනායක)

මැයි දිනයේදී මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 20,000 ට   අධික පිරිසක් සේවයට යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ මහතා පැවසීය.

මින් 7000 ක පිරිසක් කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් ද තවත් 4000 ක්  පිරිසක් මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන්ද, සෙසු පොලිස් නිලධාරීන්  රථවාහන හැසිරවීම සදහා යොදවා ඇති බවද  පොලිස් මුලස්ථානයේ   පැවැති මාධ්‍ය හමුවකදී අජිත් රෝහණ මහතා  සදහන් කළේය.

‘‘මැයි දිනය දා පොලිස් ආරක්ෂාවට අමතරව 30 දින රාත්‍රියේසිට විශේෂ රථවාහන මෙහෙයුම්  ද ක්‍රියාත්මක කරනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම,   රථවාහන නීතිය උල්ලංඝනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා මෙම මෙහෙයුම්    ක්‍රියාත්මක කර තිඛෙනවා.  බීමතින් බස් රථ ඇතුලූ වෙනත් රිය පැදවීම, අපරික්ෂාකාරි ලෙස වාහන රියපැදවීම,  වේගයෙන් රියපැදීම සිදුනොකරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.   බීමතින් බස්  රථ ධාවනය කරන රියදුරන් මෙන්ම  බීමත් රියදුරන්ට රථවාහන පැදවීම සදහා  වාහන ලබාදෙන හිමිකරුවන් ද නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා.“ යයිද අජිත් රෝහණ මහතා පැවසීය. 
කොළඹ නගරයේ සිදුවන සිදුවීම්  සදහා   011-2433333 යන දුරකතන අංකයටත්, මහනුවර නගරයේ  සිදුවන ක්‍රියාවන් සදහා 081- 2233333  යන අංක වෙත දැනුම් දිය හැකියි.