ඩයනා උදයංගනී
ජාත්‍යන්තර කම්කරු දිනය හෙටට (1) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් සංවිධානය කරන කම්කරු දින සැමරුම් රැලි හා පෙළපාළි 23ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වේ.
මෙවර මැයි දිනය වෙනුවෙන් වැඩිම රැලි ප්‍රමාණයක් කොළඹ දී පැවැත්වෙන අතර එම සංඛ්‍යාව 15 කි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින සැමරුම‘එක මිටට හරි අතට‘ තේමාව යටතේ එම පක්ෂයේ සභාපති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පස්වරු2.00ට පැවැත්වෙන අතර එයට සහභාගී වන ජනතාව පෙළපාළි දෙකකින් ගැටඹේ ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය.
මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය එම පක්ෂයේ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ‘දිනන ජනතාවගේ මැයි රැලිය‘ යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේ දී පස්වරු3.00ට පැවැත්වෙන අතර එහි පෙළපාළිය මාළිගාවත්ත ප්‍රදේශයෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ‘වැඩබිම,ගොවිබිම, මව්බිම සුරකින නොනවතින අරගලය‘ තේමාව යටතේ ගාලූ මුවදොර පිටියේ දී පස්වරු 3.00ට ආරම්භ වන අතර පෙළපාළිය කොම්පඤ්ඤවීදිය මංසන්ධියෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය ‘ආර්ථීක සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැලිය‘යන තේමාව යටතේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බී.ආර්.සී පිටියේ දී පස්වරු 4.00ට ආරම්භ වේ. මෙහි පෙළපාළිය දෙහිවල එස්. ද එස් ජයසිංහ පාසල් ක්‍රීඩාංගණයෙන් දහවල් 12.00ට ආරම්භවීමට නියමිතය.
දෙමළ ජාතික සන්ධානය මගින් පවත්වන මැයි දින රැලිය අම්පාර, අක්කරෙයිපත්තුවේ දී එහි නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙහි පෙළපාළිය අක්කාරෙයිපත්තු මාණික්ක පිල්ලෙයාර් කෝවිල අසලින් දහවල් 12.00ට ආරම්භ වන අතර රැලිය අක්කරෙයිපත්තු ආලේඅඩිවෙම්බු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

