මැයි දිනය කල් යාමෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයයන්හි ගැටළු රැසක්


(විනීතා එම් ගමගේ)      

මැයි පළමු වැනිදාට යෙදී ඇති කම්කරු දින නිවාඩුව අවලංගු කර ඒ වෙනුවෙන් හත් වැනිදාට නිවාඩුව ප‍්‍රකාශයට පත් කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ අදාල නිවාඩුව රජයේ හා බැංකු නිවාඩුවක් පමණක් සඳහන්ව තිබීම නිසා සේව්‍ය හා සේවක දෙපක්ෂයම ගැටලූවකට මුහුණ දී ඇත.

මැයි දිනය රජයේ වෙළද හා බැංකු නිවාඩු දිනයකි.

මැයි දිනය වෙසක් සතිය තුළ යෙදී තිබීම හේතුවෙන් එම නිවාඩුව මැයි 7 දිනට යොදමින් ස්වදේශ කටයුතු ඇමතිවරයා විසින් ඉකුත් 10 වැනිදා මෙම අතිවිශේෂ ගැසට් පත‍්‍රය නිකුත් කොට තිබිණි. 

මෙම නිවාඩුව රජයේ හා බැංකු නිවාඩුවක් පමණක් ප‍්‍රකාශයට  පත් කිරීම නිසා පෞද්ගලික ආයතනවල සේවකයන්ට නිවාඩු දීම පිළිබඳ අර්බුදයක් මතුව ඇතැයි වාර්තාවේ.

මේ අනුව පළමු වැනිදාට යෙදෙන නිවාඩු දිනයෙන්  අවලංගු කර ඇත්තේ රජයේ හා බැංකු නිවාඩුව පමණක් ද යන්න අපැහැදිලි බවත් තම සේවකයින්ට නිවාඩු ලබාදෙන්නේ පළමුවැනිදා ද හත්වැනිදා ද යන්න සිතා ගත නොහැකි අවුලක් බවට පත්ව ඇති බවත් හාම්පුතුන් පවසති.