මැයි දින සැමරුම් රැසක් හෙට


ඩයනා උදයංගනී 
          
දේශපාලන පක්‍ෂ ගණනාවක් හෙට (7)  දිනයේදී ජාත්‍යන්තර කම්කරු දිනය (මැයි දිනය)  සැමරීමට නියමිතය.
 
ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 1 වැනිදාට යෙදී තිබූ නමුත් මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ඒ ආසන්නයේ යෙදී තිබීම හේතුවෙන් කම්කරු දිනය මැයි 7 වැනිදාට සමරන්නට රජය තීරණය කළ අතර ඒ අනුව මැයි 1 වැනිදා නිවාඩු දිනය ද මැයි 7 වැනිදා ලබාදීමට තීරණය කෙරිණි.
 
මේ අනුව දේශපාලන පක්‍ෂ ගණනාවක්ම අද මැයි දිනය සමරන අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ මඩකලපුවේදීය. එය පක්ෂ සභාපති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මඩකලපුව, චෙන්කලඩි, මාවඩිවෙම්බු හි දී   සවස 2.00ට  පැවැත්වේ. ‘ජාතික සමගියට කම්කරු ජවය’ මෙවර එහි සැමරුම් තේමාව වී තිබේ.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්‍ෂයේ ද සහභාගීත්වයෙන් පවත්වන මැයි දින සැමරුම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාල්ලේ දී පැවැත්වෙන අතර එහි පෙළපාලිය ගාල්ල කෝවිල් ගොඩැල්ල විහාරස්ථානයෙන් පස්වරු 1.00ට ආරම්භ වන අතර රැලිය ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ වේ. ‘බදුබරට, පාවාදීමට, බැදුම්කර මංකොල්ලයට, ජාතික සම්පත් විකිණීමට, මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහිව’ යන්න මෙවර ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින තේමාවයි.
 
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුම එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (7) කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ‘සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලනයක්’ යන්න මෙවර එහි මැයි දින තේමාව වී තිබේ.
 
ජ.වි.පෙ මැයි දින පෙළපාලිය බොරැල්ල කැම්බල් පිටියෙන් හෙට (7) පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිත අතර රැලිය පැවැත්වෙන්නේ හැව්ලොක් ටවුන් හි බී.ආර්.සී පිටියේදීය.
          
ජාතික හෙළ උරුමයේ මැයි දින සැමරුම ද එහි මහලේකම් පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද කොළඹ දී පැවැත්වේ. එහි පෙළපාලිය කොළඹ මහජන පුස්තකාලය අසලින් හෙට පෙරවරු 9.00ට ආරම්භ වන අතර රැලිය කොළඹ නව නගර ශාලාවේදී පෙරවරු 10.00ට පැවැත්වේ.  
          
ශ්‍රී ලංකා කම්කරු කොංග‍්‍රසයේ මැයි දින පෙළපාලිය සහ රැලිය එහි නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් නුවරඑළිය නගර මධ්‍යයේ දී හෙට (7) උදෑසන 10.00ට පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ මැයි දින රැස්වීම හෙට මරදාන පිහිටි එම කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.