මැන්චෙස්ටර්හි පිපිරීමකින් 22ක් මරුට


බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් හි පැවැති ඇමෙරිකා ජාතික ගායිකා ආරියානා ග්‍රාන්ඩේගේ ප්‍රසංගයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් කුඩා දරුවන් ද ඇතුළුව මේ වනවිට 22 කු ජීවිතක්ෂයට පත්ව 59 දෙනෙක් තුවාල ලබා සිටිති. 
මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකා ඉදිරි කටයුතු කරන බව ප්‍රකාශයක් කරමින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ කීවාය. 
බ්‍රිතාන්‍යයේ මුස්ලිම් ජාතිකයන් සිව් දෙනකුට මරු කැඳවමින් 52 දෙදනකුට තුවාල සිදු කරමින් 2005 වසරේදී ලන්ඩනයට එල්ල වූ මරාගෙන ප්‍රහාරයෙන් පසු එල්ල වූ දරුණුම ප්‍රහාරය මෙයයි.
බ්‍රිතාන්‍ය වේලාවෙන් සඳුදා රාත්‍රී 10.33ට පමණ ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරකයා පුපුරණ ද්‍රව්‍ය පුපුරා ගැනීමෙන් පසු මියගිය බව ද බ්‍රිතාන්‍ය පොලිසිය සඳහන් කළේය. සංගීත ප්‍රසංගය පවත්වා ඇත්තේ මැන්චෙස්ටර් හි පිහිටි 'මැන්චෙස්ටර් එරීනා' ගෘහස්ථ රංග ශාලාවේය. එය ප්‍රේක්ෂකයන් 21,000කට ආසන්න පිරිසකට එකවර පහසුකම් සපැයිය හැකි රංග ශාලාවකි.
''මෙම ප්‍රහාරය එක් පුද්ගලයකු විසින් කරන ලද ප්‍රහාරයක් බව අපි විශ්වාස කරනවා. මේ ප්‍රහාරය එක් අයෙක් කරන ලද්දක් ද නැතහොත් ජාලයක් විසින් සංවිධානාත්මකව කරන ලද්දක් ද කියා අපි සොයා බලනවා" යැයි මැන්චෙස්ටර් හි ප්‍රධාන පොලිස් කොස්තාපල් ඉයන් හොප්කින්ස් මහතා වාර්තාකරුවන් හමුවේ පැවැසීය.
සංගීත ප්‍රසංගය අවසන් වී යද්දි එක්වරම ඉතා විශාල ශබ්දයක් ඇසුණු බවත් මිනිසුන් කෑ ගසන හඬ ඇසුණු බවත් බොහෝ පිරිසක් ඉක්මනින් ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට උත්සාහ කළ බවත් සිද්ධිය ඇසින් දුටුවෙක් පැවැසීය.
සංගීත ප්‍රසංගයට රැස්ව සිටි බොහෝ පිරිස් විශේෂයෙන්ම තරුණ පිරිස් කෑ ගසමින් දිව යන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ට්විටර් සමාජ ජාලයේ පළව තිබුණි. එමෙන්ම මාපියන් තම දරුවන්ගේ ඡායාරූප හා විස්තර සමාජ ජාලවල පළ කරමින් තම දරුවන්ගේ විස්තර සොයන අයුරු ද දක්නට ලැබුණි.
''අපි සංගීත ප්‍රසංගය අවසන් ව පිටව යමින් සිටියා. අපි හිටියේ පිවිසුම් දොරටුව ගාව. එක්වරම විශාල පිපිරුමක සද්දේ අහුණා. හැමෝහ කෑ ගැසුවා" යැයි සංගීත ප්‍රසංගයට සහභාගි වී පිටව යමින් සිටි කැතරින් මැක්ෆාලෙන් කීවාය.
''සිදුවීම සම්බන්ධයෙන් මට තියෙන්නේ පුදුම දුකක්. මට හරිම කනගාටුයි. මට මුකුත් කියන්නේ තෙරෙන්නේ නැහැ. මට කියන්න වචන නැහැ" යැයි 23 හැවිරිදි අරියානා ග්‍රාන්ඩේ තම ට්විටර් ගිණුමේ පණිවියක් තබමින් සඳහන් කර ඇත.
සති දෙකහාමාරක කාලයකින් මහ මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටින අගමැතිනි තෙරේසා මේ ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වල ඥාතීන්ටත් තුවාල ලැබුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට ඥාතීන්ටත් තම කනගාටුව පළ කළාය. ඇය මෙන්ම කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් ජූනි 8 වැනිදා පැවැත්වෙන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු තාවකාලිකව නවතා දැමීමට ද කටයුතු කළහ.
"පොලිසිය මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු සොයා පුළුල් විමර්ශනයක් කර සියලු තොරතුරු සොයාගැනීම සඳහා අපට හැකි සියල්ල කරනවා. ප්‍රහාරයෙන් විපතට පත් සියලු දෙනාට අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා" යැයි නිවේදනයක් නිකුත් කරමින් අගමැතිනිය කීවාය. සිදුවීම සම්බන්ධයෙන් අගමැතිනි තෙරේසා මේ හදිසි ආරක්ෂක රැස්වීමක් කැඳවීමට ද නියමිතව තිබිණි.
ප්‍රහාරය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්ග්පින්ග් බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනටත් බ්‍රිතාන්‍ය ජනතාවටත් තම කනගාටුව ප්‍රකාශ කළ බව චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ප්‍රහාරය සම්බන්ධයෙන් අඟහරුවාදා (23) දහවල් වනතුරුත් කිසිවකුත් වගකීම බාරගෙන නොතිබිණ. කෙසේ වෙතත් 130 දෙනකුට මරු කැඳවමින් ප්‍රංශයේ පැරිස් නුවර බැටක්ලෑන් ප්‍රසංග ශාලාවට 2015 වසරේ නොවැම්බර් මාසයේදී එල්ල වූ ප්‍රහාර මාලාවට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි එක්සත් ජනපද බලධාරීහූ සැක කරති.
ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස් සංවිධානයේ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ප්‍රහාරය සමරමින් හා ඊට සතුට පළ කරමින් අදහස්  දක්වා තිබූ අතර ඉදිරියේදී තව තවත් මේ ආකාරයේ ප්‍රහාර එල්ල වනු ඇතැයි ද සඳහන් කර තිබිණි.
ඉස්ලාමීය හා අනෙකුත් සටන්කාමීන්ගෙන් හා ප්‍රහාර එල්ල විය හැකි වැඩි අවදානමක් සහිත රට බ්‍රිතාන්‍ය යැයි හඳුනාගෙන තිබේ. සෑම දිනකදීම ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ යැයි සැක කෙරෙන එක් අයකු හෝ අත්අඩංගුවට ගන්නා බව බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විමර්ශන පොලිසිය සඳහන් කරයි.
ඉකුත් මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යයේ උපත ලබා ඉස්ලාම් ආගමට හැරුණු පුද්ගලයකු ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාලම මතින් මෝටර් රියක් ධාවනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කඩා වැදීමට උත්සාහ කළේය. ඔහු කළ වෙඩි තැබීම්වලින් සිව් දෙනකුද පාර්ලිමේන්තුවට පිවිසීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු පිහියක් යොදා ගනිමින් කරන ලද පහරදීම්වලදි පොලිස් නිලධාරියකු ද මරණයට පත්විය. පොලිසිය කළ වෙඩි තැබීම්වලින් ඔහු එම ස්ථානයේදීම මිය ගියේය.
වසර 2009 අප්‍රේල් මාසයේදී මැන්චෙස්ටර් හි පිටි ආර්ඩාලේ සාප්පූ මධ්‍යස්ථාන පුපුරුවා හැරීමට අල්කයිඩා සංවිධානය හා සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වූ පාකිස්තාන ජාතික අබිද් නසීර් නැමැති සිසුවකු අදාළ චෝදනාවලට වැරැදිකරු බව 2015 වසරේදී එක්සත් ජනපද අධිකරණයක් විසින් තීරණය කරනු ලැබීය.
වසර 1995 දී ආරම්භ කළ "මැන්චෙස්ටර් එරීනා" යනු යුරෝපයේ තිබෙන විශාලතම ගෘහස්ත රංග ශාලාවක් හා ක්‍රීඩා ස්ථානයක් වෙයි.
මාපියන් හා මිතුරන් තම දරුවන් හා මිතුරන් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විස්තර සොයා බලන අවස්ථාවේදීම ප්‍රහාරයෙන් තුවාල ලැබුවෝ මැන්චෙස්ටර් හා ඒ අවට රෝහල්වල ප්‍රතිකාර ලබමින් වූහ.
රොයිටර් ඇසුරිනි    - 055