මැදමුලන නඩුව විභාගයට නොගන්නැයි ගෝඨාගෙන් රිට් පෙත්සමක්



 
 
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
වීරකැටිය මැදමූලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා හතකට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම අද (8) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර පෙත්සම ලබන 12 වැනිදා සළකා බැලීමට කල් තබන ලදී.
මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන් , එම.එස් .කේ.බී විජේරත්න , චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

නීතීඥ සහන් විජේවර්ධන මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

මෙම සිද්ධියට සම්බන්ධ චෝදනා විභාගයට ගැනීමට ස්ථර ත‍්‍රී පුද්ගල මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට පෙත්සම්කරු විරෝධතාවයක් මතු කළේය. එම විරෝධතාව සළකා බලා එය ප‍්‍රතික්ෂේප කෙරිණි. මෙය නීතියට පටහැනි වේ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , විරෝධතාවය ප‍්‍රතික්ෂේප කරමින් ප‍්‍රකාශිත නියෝගය බලරහිත කරන ලෙසද, මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.