(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදුව ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බාහිර විමර්ශන කමිටුව එහි තවත් සේවක සහ සේවිකාවන් කිහිප දෙනෙකුගෙන් ඊයේ සහ පෙරේදා ප්‍රශ්න කර කටඋත්තර සටහන් කරගෙන ඇත.
හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ විමර්ශන කටයුතු මේ සතියේදී අවසන් වීමට නියමිතය. විමර්ශන අවසන් වීමෙන් පසු එහි වාර්තාව බොහෝ දුරට සති දෙකක් ඇතුළත කතානායකවරයාට බාර දෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
බාහිර විමර්ශන කමිටුව පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර, නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන්ද ඉකුත්දා ප්‍රකාශ සටහන් කර ගැනිණ
එම තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ පරිපාලනයට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා යැයි දැනගන්නට ඇත.
ඒසේම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ බුද්ධික නවගමුව, චමින්ද විල්ලෝරාරච්චි, නරේන්ද්‍ර ලක්මහල් සහ දමින්ද වික්‍රමරත්න යන ප්‍රධානීන්ගෙන්ද පැමිණිලිකාර නිලධාරිනියගෙන්ද හිටපු පරිපාලන අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මියගෙන්ද මීට ප්‍රථම ප්‍රකාශ සටහන් කරගෙන අැත
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇතුළු මන්ත්‍රීවරු කීපදෙනෙක් කතානායකවරයාට ස්තුතිය පුද කර සිටිති.

