මැතිසබේ සේවකයෙකුට ’’විශේෂ සැලකිල්ල’’ කැබිනට්ටුව විසිකරයි


(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සේවකයකුට සේවා දීර්ඝයක් ලබා ගැනීමට කෙරුණු ඉල්ලීමක් කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර ඇති මෙම සේවකයා ලබන ජනවාරි මස විශ්‍රාම යෑමට නියමිතය.

වයස 60න් පසු සේවා දීර්ඝ ලබා නොදීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන ඇති හෙයින් එම සේවා දීර්ඝ ඉල්ලීම කැබිනට් මණ්ඩලය මෙසේ ප්‍රතික්ෂේප කළ බව  රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

එක්තරා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුට  ආවතේව කිරීම සඳහා යෙදවීමට මෙම සේවකයාගේ සේවය තවදුරටත් අවශ්‍ය බව කැබිනට් මණ්ඩලයට පෙන්වාදී තිබිණැයි දැනගන්නට ඇත.

එම ඉල්ලීම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම සේවකයා අමාත්‍යවරයකුගේ  පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විශ්‍රාම ගිය අවස්ථාවේදීද රජයේ ප්‍රතිපත්තිය අනුව ඔහුට සේවා දීර්ඝයක් ලබාදීමට කටයුතු නොකෙරිණ.