සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධා කරමින් මැතිසබයේ නොහික්මුණු ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන්නැයි ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (04) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. අජිත් පී.පෙරේරා මහතා එම වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් මෙසේද කීය.
‘‘විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ මේ සභාවේ කතානායකවරයාට බැන තර්ජනය කරමින් නොහික්මුණු ලෙස හැසිරුණා.මේ නිසා සභාවේ කටයුතු අත්හිටුවීමට සිදුවීමෙන් දස ලක්ෂ ගණනක මුදලක් රටට අහිමි වුණා.ස්ථාවර නියෝග වලට පටහැනිව කළ මේ ක්‍රියාව නිසා මේ සභාවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වරප්‍රසාද උල්ලංඝනය වුණා.
මෙය බරපතළ තත්ත්වයක්. මේ නිසා වහාම වරප්‍රසාද කමිටුව කැඳවා සාක්ෂි විමසා අදාළ මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරනවා.අද සමහර මන්ත්‍රීවරුන් බියක් නැතුව මේ ආකාරයට හැසිරෙනවා යැයිද අජිත් පී.පෙරේරා මහතා කීය.‘‘