මැතිසබය උණුසුම් වෙයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේදී  මතුවූ ගැටළුවක් හේතුවෙන්  ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ සංවාදයක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද (19) පෙරවරුවේ ඇතිවිය .

උදය  ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත්  කිරීමට  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාට පැවරී තිබුණත් ඔහු යෝජනාව සභාවට ඉදිරිපත් නොකර දිගටම කතා කරගෙන ගොස් වාඩි වුණේය.

ඉන් අනතුරුව එම පක්ෂයේ කබීර් හෂීම්  මන්ත්‍රීවරයා යෝජනාව ස්ථිර කිරීමට නැගී සිටියේය.

යෝජනාවක් ඉදිරිපත් නොකර එය ස්ථිර කිරීමට නොහැකි යැයි  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී එකවර නැගිට හඬ නගන්නට වූහ.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එවැනි දෙයක්  ස්ථාවර නියෝගවල නැතැයි  කියා සිටියේය.

මේ අවස්ථාවේදී යෝජනාව යළි ඉදිරිපත් කිරීමට කතානායකවරයා මරික්කාර් මන්ත්‍රීවරයාට ඉඩ දුන්නේය.

එහෙත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඒ තීරණයට  විරුද්ධවෙමින් දිගින් දිගටම හඩ නැගූහ .

මෙහිදී නැගී සිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතා" අපි එතුමට යෝජනාව ඉදිරිපත් කරන්න අවස්ථාව දෙමු" යැයි ප්‍රකාශ කළේය.

අගමැතිවරයාගේ ඒ ප්‍රකාශයට සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන්  සතුට පළ කරනු මෙහිදී දක්නට ලැබිණ. අගමැතිවරයාගේ ඒ ප්‍රකාශයත් සමග යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳ ගැටලුව අවසන් විය.