ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
අර්ජුන ඇලෝසියස් මහතාගේ මුදල් මැතිවරණය සඳහා යෙදවුවද බැඳුම්කර සිද්ධියේ දී කිසිවිටක ඔහු ආරක්ෂා කිරිම සඳහා පෙනීසිටියේ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) පැවසීය.
වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වු අවස්ථාවේ දී මුදල් චෙක්පතක් ලැබුණු බවත් එය දුන් අය සහ මාරු කළ අය පිළිබඳව මතකයක් නැතැයි ද දයාසිරි මහතා කීය.
පාර්ලිමේන්තුවේ අද (25) පැවති විසර්ජන පනත යටතේ යෝජනා සම්බන්ධයෙන් වු විවාදයට එක්වෙමින් මෙසේ පැවසීය.
අර්ජුන් ඇලෝසියස් මහතාත් ඔහුගේ පියාත් අපි අවුරුදු ගණනාවක සිට දන්නා අය.ව්‍යාපාරිකයන් ලෙස ඔවුන් අප ආශ්‍රය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පළාත් සභා මන්ත්‍රිවරුන්ට සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට උදව් කරනවා. මේ රටේ දේශපාලනය යන්නේ ඒ ආකාරයටයි.
ඒ අනුව අපටත් මේ අය උදව් කර තිබෙනවා. මේ සිද්ධිය වන විට මම කෝප් කමිටු සාමාජිකයෙක් නොවෙයි. මම කෝප් කමිටුවට පත් වෙන්නේ 2015 අගෝස්තු 17 වැනි දා.එදා සිට මා හැම විටම බැඳුම්කර සිද්ධියේ දී අර්ජුන් මහේන්ද්‍රන් කළ ක්‍රියාවට විරුද්ධව පෙනී සිටියා.
මේ චෙක්පත මගේ නමට ලියුවක් නොවෙයි. මෙය මුදල් චෙක්පතක්. අපටත් මතක නැහැ කවුද මෙය දුන්නේ කියලා. අර්ජුන ඇලෝසියස් හෝ වෙනත් කෙනෙක් අස්සන් කර තිබු එකක් ද කියලා මතක නැහැ. මම දන්නේ නැහැ මොකක්ද සිදුවෙලා තිබුණේ කියලා.
නමුත් මෙම චෙක්පත මාරුකරු ඒ මුදල් ටික එදා තිබුණු මැතිවරණ ව්‍යාපාරයට අරගෙන තිබෙනවා. මේ ගත්ත මුදල් ප්‍රමාණය වගේම මුදල් ගන්න මන්ත්‍රිවරු තව ඉන්නවා. ඒ අයට උදව් කළ අය ගැන තොරතුරු මා ළඟ තියෙනවා.
බැඳුම්කර කොමිසින් සභා වාර්තාවේ තව පිටු තුන්දහසක් තියෙනවා. ඒ පිටු තුන්දහස ඉදිරිපත් කරන්න ඒවා ඇතුලේ අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත අයගේ නම් තිබෙනවා.
අපි අර්ජුන් ඇලෝසියස්ලාගේ මුදල් අරගෙන ඒ අය ආරක්ෂා කිරිමට කටයුතු කළේ නැහැ.මේ බැඳුම්කර ගනුදෙනුව ආරක්ෂා කිරිමට මම ගේම් ගැහුවේ නැහැ. කෝප් කමිටු වාර්තාව නවත්වන්න මම උසාවි ගියෙත් නැහැ. අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටියෙත් නැහැ. පෙනී ඉන්නෙත් නැතැයි මන්ත්‍රීවරයා කීය.