මැතිවරණය කල් දමන්නැයි කැෆේ ඉල්ලයි


(දසුන් රාජපක්ෂ )
 
නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වය  හමුවේ මහ මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස කැෆේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.

එම තත්ත්වය හමුවේ මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම්දීමක් කළ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා අද (18) සදහන් කළේය.
 
පවතින අවදානම්කාරී තත්ත්වය මත මැතිවරණ ව්‍යාපාරයට අදාල කටයුතු සිදුකිරීමේදී කොරෝනා රෝගය ජනතාවට ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බව අහමඩ් මනාස් මකීන් මහතා පැවසීය.
 
ඡන්ද රැඳි පැවැත්වීම, ගෙයින් ගෙට ගොස් අත්පත්‍රිකා බෙදා දීම වැනි කටයුතු මඟින් කොරෝනා රෝගය පැතිර යාම  තව දුරටත් වර්ධනය විය හැකි බවද ඒ මහතා කීය.

සුදුසු නිරෝධායන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර කොරෝනා වෛරසය පැතිරයාම සම්පූර්ණයෙන් අවසන් වනතුරු මැතිවරණය පැවැත්වීම නොකළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 
ලොව බොහෝ රටවල් කොරෝනා  වෛරස් තත්ත්වය හමුවේ එම රටවල් වල පැවැත්වීමට නියමිතව තිබුණු මැතිවරණ කල් දමා හෝ අත්හිටුවා තිබෙන පසුබිමක් යටතේ මෙරට තුලද මැතිවරණය කල් දමා ඊට වෙන් කෙරෙන මුදල් කොරෝනා රෝග නිරෝධායන වෙනුවෙන් යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.