මැතිවරණ නීති උල්ලංඝනය කර පෙළපාලි පැවැත්වීම පිළිබඳ පරීක්ෂණයක්


ඉන්දිකා රාමනායක
 
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බත්තරමුල්ල, කිරිදිවැල සහ මාදම්පේ යන ප‍්‍රදේශ වල ඉකුත් (4) වැනි දින ආධාර කරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්  මැතිවරණ පෙළපාලි පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන්  නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු යටතේ  පරීක්ෂණ ආරම්භ කර ඇති බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි  රුවන් ගුණසේකර මහතා අද  (06) පැවසීය.
 
මෙම පෙළපාලි නැවැත්වීමට  පොලිසිය නිසි කි‍්‍රයා මාර්ග ගෙන නොමැති නම්  එම ප‍්‍රදේශවල  පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනය කි‍්‍රයා මාර්ග ගැනීමට උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය. 
 
මැතිවරණ නීතිය උල්ලංගනය කර  මෙම ප‍්‍රදේශවල පෙළපාලි ගොස් ඇති බවත්  පොලිසිය    ඒවා නැවැත්වීමට පියවර ගෙන නොමැති බවට මැතිවරණ කොමසාරිස්වරයා  පොලිස්පතිවරයා වෙත ඒවා තිබු ලිපියකට අනුව පොලිස්පතිවරයා  මෙම නියෝගය කර ඇත.
 
මේ සම්බන්ධයෙන් නුගේගොඩ, ගම්පහ සහ පුත්තලම යන  ප‍්‍රදේශ බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද රුවන් ගුණසේකර මහතා කීය.
 
එම පෙළපාලි සම්බන්ධයෙන් නෛතික කි‍්‍රයා මාර්ග ගැනීමටත්, එම ගිය පෙළපාලි සම්බන්ධයෙන් පොලිසිය ගත් කි‍්‍රයා මාර්ග සම්බන්ධයෙනුත් සොයා බලන ලෙසට පොලිස්පතිවරයා නියෝග කර ඇත.
 
මෙම පෙළපාලිය සම්බන්ධයෙන් පොලිසිය නිසි  නීතිමය කි‍්‍රයා මාර්ග ගෙන නොමැති බවට පරීක්ෂණයේ දී හෙළි වුවහොත්  එම ස්ථානාධිපතිවරුන්ට එරෙහිව මෙලෙස විනය කි‍්‍රයා මාර්ග ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටක් පැවසීය.