මැති සබයේ තීරණාත්මක බලවේගය ජවිපෙලු


මීලඟ පාර්ලිමේන්තුවේ  තීරනාත්මක බලවේගය බවට ජනතා  විමුක්ති පෙරමුණ පත් වෙන බව  ජනතා විමුක්ති පෙරමුනේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත් මහතා අද නාමයෝජනා බාර දීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවසුවේය.

‘‘ජනතා විමුක්ති පෙරමුණ අටවෙනි පාර්ලිමේන්තුවේ ශක්තිමත් නියෝජනයක් ලබා ගන්නවා. ඒක ස්තිරයි, සහතිකයි. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව ගම්පහ දිස්ත්‍රික්කය තුළින් ශක්තිමත් නියෝජනයක් පාර්ලිමේන්තුවට යවනවා.

ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ඉතිහාසයේ සිට මේ රටේ ජනතාවත් එක්ක දේශපාලනය කරලා ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්  විශාල කැපකිරීම් කරලා එයට නායකත්වය දීලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා කොළ, පාට, නිල් පාට දේශපාලනය ප්‍රතික්ෂේප කරල  ජනතා විමුක්ති පෙරමුණත් එක්ක මේ රටේ ජනතාව අත්වැල් බැඳගන්නවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පහුගිය කාලේ පුරාවටම සැලකිය යුතු ජනතා නියෝජනයක්  ලැබුනා. එයිටත් වැඩිය  ශක්තිමත් නියෝජනයක් මෙවර ලැබෙනවා කියන එක අපිට පැහැදිලිව පේන්න තියෙනවා.  කොහොම උනත් මීලඟ පාර්ලිමේන්තුව තුළ  එක්සත් ජාතික පක්ෂයටවත් ශ්‍රී ලංකා නිදහස් සන්දානය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්දානයටවත් බහුතර බලයක් ගන්න බැහැ.  ඒක තමයි ඇත්ත.

රටේ ජාතික දේශපාලනයේ දිසානතිය තීන්දු කරන ප්‍රබල සාධකය බවට පත්වෙන්නෙත් ජනතා විමුක්ති පෙරමුණයි. ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒ විශ්වාසය තුළින්  මෙවර මැතිවරණයට රටපුරාම ශක්තිමත් කන්ඩායම් ඉදිරිපත් කරලා අපි තරඟ වදිනවා.