මැති ඇමැතිවරුන්ගේ දේපළ වැනසූ පුද්ගලයන්ට වැඩ වරදී


(සුජිත් හේවාජුලිගේ)

මැති ඇමැතිවරුන්ගේ නිවාස ඇතුළු දේපළවලට පහරදී ගිනි තබා විනාශ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ  කණ්ඩායම් ගණනාවක්  යොදවා ඇතැයි  පොලිස් මූලස්ථානය පවසයි.

එම කණ්ඩායම් සීසීටීවී කැමරා දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් හඳුනාගැනීම දැනටමත් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

එසේම මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධවූ සැකකරුවන්  හඳුනාගැනීම සඳහා පොලිසිය මහ ජනතාවගේ සහායද අපේක්ෂා කරයි.

මැති ඇමැතිවරුන්ගේ නිවාස සහ දේපළ වලට හානි කළ පුද්ගලයන්  අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව  පොලිස් ප්‍රධානීහු  පැවසූහ.

පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන්වලින්  මැති ඇමැතිවරුන් තිස් පස් දෙනකුගේ නිවාස ඇතුලු දේපළ  විනාශයට පත්විය.

එම ප්‍රචණ්ඩකාරී සිද්ධීන්වලින් විනාශයට පත්වූ වාහන සංඛ්‍යාව දෙසියයකට ආසන්නය.

මේ දේපළ  විනාශ  සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් රැසක් පොලිසියට දැනටමත් පැමිණිලි කර ඇත.

මේ අතර කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගනය ආශ්‍රිතව සිදුවූ  ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන අරඹා ඇත.

එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයන් හඳුනා ගැනීමටද පොලිසිය මහජන සහාය අපේක්ෂා කරයි.