මැණිකේ දෙකෝටියක් බකමුණ කැලෙන්


ලග්ගල හත්තොට අමුණේ මැණික් ව්‍යාපාරිකයකුට අයත් පතලකින් සොරකම් කරන ලදැයි කියන  නිල් මැණික රත්නපුර  මැණික් ව්‍යාපාරිකයකුට විකුණා ඉන්  ලබා ගත් රුපියල් කෝටි තුනක මුදලින් රුපියල් දෙකෝටි අනුහත් ලක්ෂක් සොයා ගත් බව ලග්ගල පොලීසිය  කියයි.

මේ සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත්  ලග්ගල දාස්ගිරියේ පදිංචි සැකකරුගේ  බකමුණ සෝමිල් ප්‍රදේශයේ පදිංචි සහෝදරයකුගේ  නිවසක් ආසන්නයේ  රම්පේ පඳුරක් යට සඟවා තිබු  රුපියල් එක්කෝටි පනස් හය ලක්ෂයක්  ද ඒ ආසන්නයේම ලඳු කැළැවක සඟවා තිබු රුපියල් එක්කෝටි තිස් එක් ලක්ෂයක්ද සොයා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය සදහන් කළේය.

තමන්ට අයිති මැණික් පතලකින් සේවකයකු විසින්  සොරා ගත් නිල් මැණික් රත්නපුර ප්‍රදේශයේ විකිණිම සදහා ගෙනවිත් ඇති බවට ගැනුම්කාර ව්‍යාපාරිකයාගෙන් ලැබුණු තොරතුරක් අනුව නිල් මැණික අයිති ලග්ගල හත්තොට අමුණ  කේ එම් පියදාස මහතා මාතලේ මුලස්ථාන පොලීසියට මේ පිළිබද පැමිණිලි කළේ ඉකුත් 27 වැනිදාය.

ඒ අනුව පරික්ෂණ කළ මාතලේ  විමර්ශණ ඒකකය  හා ලග්ගල පොලීසිය සැකකරු අත්අඩංගුවට ගත් අතර  ඔහුගෙන් සිදු කරනලද ප්‍රශ්න කිරීම් වලදී  මැණික් ගල විකුණා ඔහු ලබා ගත් මුදල් කොටස් වශයෙන් සොයා ගත් බව ද පොලීසිය කීයයි.

රත්නපුරයේ මැණික මිලට ගත් ව්‍යාපාරිකයා සොයා ගොස් ඔහුගෙන් ප්‍රශ්න කළ බවත්  ඔහුගේ කළමණාකරු  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.

මැණික් ගල විදේශීය සංචාරකයකුට විකුණා ඇති හෙයින් එය සොයා  ගැනීමට හැකි නොවු බව ද පොලීසිය සදහන් කළේය.