මැණික් තොගයක් සමඟ චීන කාන්තාවක් රේගුවේදී අත්අඩංගුවට


( ටී.කේ.ජී.කපිල )

                 

මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන්  අත්අඩංගුවට ගෙන තිබේ.

 

තිස්පස් හැවිරිදි මෙම  චීන කාන්තාව ශ්‍රී ලාංකිකයකු සමඟ විවාහ වී වසර 12 ක පමණ කාළයක් මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින්නියකි .

 

ඇය ඊයේ (03) රාත්‍රී  11.30 ට පමණ තායිලන්තයේ බැංකොක් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 407 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත ' ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී , ඇයගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ මෙම මැණික් තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .

 

එහි විශාල මැණික් කැට 18 ක් සහ කුඩා ප්‍රමාණයේ මැණික් කැට විශාල ප්‍රමාණ වශයෙන් වූ පාර්සල 13 ක් ද තිබූ අතර , එම මැණික් තොගයේ වටිනාකම රුපියල් 48,64,777 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .

                     

එහිදී මෙම මැණික් තොගය රාජසන්තක කළ අතර , මෙම චීන කාන්තාවට රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .