
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියකින් මාළු වෙළඳාමේ යෙදෙන මුවාවෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි
එම සැකකරුවන් සමග මත්කුඩු ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 550ක් පොලිස් භාරයට ගෙන ඇත.
හංවැල්ල පොලිස් වසම තුළ දී අවස්ථා දෙකකදී මත්කුඩු පැකට් දෙකක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් කළ, දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල ප්‍රදේශයට මත්කුඩු බෙදාහරින පුද්ගලයා කොලොන්නාවේ පදිංචිකරුවෙකු බවට අනාවරණය කර ගත් බව පොලිසිය කියයි.
අනතුරුව එම පුද්ගලයාට සැකකරුවන් ලවා දුරකථන ඇමතුම් ලබාදී මත්කුඩු ඇනවුම් කර ඔහු කොලොන්නාව ප්‍රදේශයේ ස්ථානයකට මත් කුඩු රැගෙන ඒමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු මාළු පෙට්ටියේ සඟවා මත් කුඩු රැගෙන ආ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර ඉන් දෙදෙනෙකු සඳහා දින 7ක රැඳවුම් නියෝග ලබා ගන්නා බව පොලිසිය කියයි. සැකකරුවන් කොලොන්නාව හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

