(ඩයනා උදයංගනී)
තැපැල් සේවකයින්ට මාස තුනක කාලයක් සෙනසුරාදා දින නිවාඩු ලබා දීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව මාස තුනක් ගතවන තුරු තැපැල් සේවකයින් සේවය කළ යුත්තේ සතියේ දින පහ පමණක් බව ද අමාත්‍යවරයා පැවසීය.
සෙනසුරාදා තැපැල් කටයුතු පවත්වාගෙන යාමේදී එක් දිනකට රුපියල් මිලියන 21 ක් වැය වන බැවින් රජය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය සළකා මෙම තීරණය ගත් බවත් ඇමතිවරයා කීවේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
පෙර පරිදිම සෙනසුරාදා දිනවල වැඩකිරීමට අවස්ථාව දෙන ලෙස හා අතිකාල දීමනා ගෙවන ලෙස තැපැල් වෘත්තීය සමිති ඉල්ලීම් කළ ද රජයට ආදායම් නොමැති තත්ත්වයක් යටතේ පෙර පරිදි වියදම් දැරීමට නොහැකි බව ඔවුන්ද තේරුම් ගත යුතුයැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔවුන් සමඟ පැවති සාකච්ඡාවලදීත් සෙනසුරාදා රාජකාරී මෙන්ම අතිකාල යන දෙකම ඉල්ලූ බව කී ඇමතිවරයා රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේදී ඇතුළුව තැපැල් සේවකයින් පසුගිය කාලයේ විශාල කාර්ය භාරයක් කළ බැවින් ඔවුන් කළ සේවය සළකා සතියේ දින 5 වැඩ කරන අතර අතිකාල දීමනා ගෙවීමට රජය තීරණය කළ බව ද ඇමතිවරයා කීවේය.
මාස තුනක කාලයෙන් පසු සෙනසුරාදා දින රාජකාරී කිරීමටත් ඔවුන්ට අවසර දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

