මාස තුනකට පසු ළමා ආරක්ෂක අධිකාරියට අධ්‍යක්ෂ මණ්ඩලයක්


බිඟුන් මේනක ගමගේ 
 
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පත්කිරීමට නියමිත නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් ලැයිස්තුවට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා දුන්නේ යැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
 
නව අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයන් 15 දෙනෙකු ඇතුලත් වන අතර ඊට නිල බලයෙන් පත්වන්නන් 12 දෙනකු හා හා ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන පුද්ගලයන් තිදෙනකු ඇතුලත් වේ.
 
නිල කාලය අවසන් වීම නිසා අධිකාරියේ පැවැති අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය අප්‍රේල් මාසයේදී අහෝසි වූ අතර නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම විවිධ හේතු නිසා මාස තුනක් පමණ පමා විය.
 
මේ නිසා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව බඳවාගැනීම්, ප්‍රතිපත්ති සකස් කිරීම් සහ ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණියේය.
 
නව අධ්‍යක්ෂ මණ්ඩලයේ මංගල රැස්වීම මෙම සතියේ පැවැත්වෙන්නේ යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා පැවැසීය.