එෆ්.අස්ලම්
යුද්ධයෙන් අවතැන් වූ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා රුපියල් මිලියන 1640ක් වෙන්කළ යුතුව තිබුණත් ඒ සඳහා ලබාදී ඇත්තේ මිලියන 700 ක ප්‍රතිපාදනයක් පමණක් යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහ්තා පැවසීය.
මේ සඳහා වත්මන් රජය පෙරාතුවද වෙන්කරනු ලැබූ මිලියන 226ක මුදල ද මෙතෙක් හිමිව නැති බවත් 2019 වසර සඳහා වන අයවැයෙන් නැවත පදිංචි කිරීම් සඳහා විශේෂ මුදල් වෙන් කිරීමක් සිදුකළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
2019 වසර සඳහා වූ අයවැය සම්බන්ධයෙන් යාපනය දිසා ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී සේනාධිරාජා මහතා මෙම ඉල්ලීම සිදුකර සිටියේය.
යාපනය දිස්ත්‍රික්කයේ විශේෂයෙන් වලිකාමම් උතුර ප්‍රදේශයේ ජනතා ඉඩම් හමුදාව විසින් මුදාහැර තිබියදීත් එම ඉඩම්වල නැවත පදිංචි කිරීම් විධිමත්ව සිදුකිරීමට හැකි වන ආකාරයට මුදල් වෙන් කිරීමක් රජය විසින් සිදුකර නැහැ.
උතුරේ අවුල් 1600කට අයත් අක්කර 823ක ඉඩම් ප්‍රමාණයක් ආරක්ෂක හමුදාව විසින් නිදහස් කර තිබෙනවා. එම ඉඩම්වල නැවත පදිංචි කිරීම් සිදුකිරීම සඳහා රුපියල් මිලියන 1640.83 ක මුදලක් අවශ්‍ය බවට ගණන් බලා තිබියදීත් රජය විසින් ලබාදී තිබෙන්නේ රුපියල් මිලියන 700ක් විතරයි.
මීට පෙරාතුවත් නැවත පදිංචි කිරීම් සඳහා වෙන්කර තිබුණු රුපියල් මිලියන 226ක මෙතෙක් ලබාදී නැහැ.
මේ නිසා 2019 වසර සඳහා වන අයවැයෙන් නැවත පදිංචි කිරීම් සඳහා විශේෂ මුදල් වෙන්කිරීමක් සිදුකළ යුතු බවට පාර්ලිමේන්තු මූල්‍ය කමිටුව විසින් නිර්දේෂ කළ යුතුයි.

