මාවුස්සාකැලේ-කාසල්රී පිටාර මට්ටමේ


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට යටතේ ඇති මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ වල ජල මට්ටම අද (09) දා පෙරවරුව වන විට පිටාර මට්ටමට ආසන්නව පැවතුණි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට සති කීපයක් තිස්සේ පවතින අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද (09) පෙ.ව. 06.00 වන විට පිටාර මට්ටමට පැමිණීමට  අඩි එක හමාරක් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත්, ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර. කැනියෝන් හා පොල්පිටිය යන ජලවිදුලිබලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

පවතින අධික වර්ෂාවත් සමග ඉකුත් දිනවල නෝටන්බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය වරින් වර වාන් දැමීම සිදුවූ බවත්, ලක්ෂපාන හා කැනියොන් පොකුරු ජලාශ වල වාන් දොරටු විවෘත්ත කිරීමට සිදුවූ බවත් එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.