මාවනැල්ල ප්‍රා. සබේ ගාලගෝට්ටියක්


(සමන් විජය බණ්ඩාර)
 

මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් අතර උද්ගත වූ උණුසුම් තත්වයක් හේතුවෙන් අද(17)  එහි  විශේෂ සභා කටයුතු පැය භාගයකට සීමා කිරීමට  සභාපති එක්සත් ජාතික පක්ෂයේ අනුර චන්දන ජයවන්දල මහතා කටයුතු කළේය.
 
විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සභාපතිවරයාගෙන් විශේෂ සභාවක් කැඳවන ලෙස ඉල්ලා තිබුණු යෝජනාවකට අනුව මෙම විශේෂ සභාව කැඳවා තිබුණි. ඒ අනුව මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මාවනැල්ල ප‍්‍රාදේශීය සභාව අද උදෑසන 10.00 ට ආරම්භ විය.
 
විපක්ෂය විශේෂ සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවලට බාහිරව සභාපතිවරයා විසින් එදින න්‍යාය පත‍්‍රයට වෙනත් යෝජනා ඉදිරිපත් කර ඇති බව පවසා විපක්ෂයේ මන්ත‍්‍රීවරු සිය විරෝධතාවය පළ කළහ.
 
අසුන්වලින් නැගිට විපක්ෂයේ මන්ත‍්‍රීවරු සභාපතිවරයාට සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට බාධා කළහ. සිය යෝජනා නොමැතිව සභාව පවත්වාගෙන යෑමට නීතිමය හැකියාවක් සභාපතිවරයාට නොහැකි බව පවසමින් විපක්ෂ මන්ත‍්‍රීවරු එදින විපක්ෂය බෙදීමක් ඉල්ලා සිටියහ. නමුත් ඊට සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් විරුද්ධවීම හේතුවෙන් මෙම තත්වය උදාවිය.
 
විපක්ෂයේ මන්ත‍්‍රීවරු සිය න්‍යාය පත‍්‍රය සභාපති දෙසට විසි කර දමා සභාවේ මේස පෙරළා දැමූහ. 
 
ඒ අනුව සභාපතිවරයා සභාව විනාඩි 10 කට කල් දැමුවේය. පසුව සභාව නැවත ආරම්භ කළද, සභාවේ උණුසුම් තත්වය එලෙසම පැවැතීම හේතුවෙන් සභාව විනාඩි කිහිපයකට අත්හිටුවීමට සභාපතිවරයා තීරණය කළේය.

මේ වන තෙක් පැවැති සභාවාර කිහිපයකදීම මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර උණුසුම් තත්වයන් හට ගත් අතර ජූලි 9 වැනිදා ද මෙම ප්‍රාදේශීය සභාවේ ඇති වූ තත්වය සමනය කිරීමට මාවනැල්ල පොලිසිය කැඳවීමට සභාපතිවරයාට සිදුවිය.