මාලි රාජ්‍යයේ ජනපති ඉල්ලා අස්වෙයි


 

අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි හි ජනපති ඊබ්‍රහිම් බබුකාර් කීටා ඉල්ලා අස්වී ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරයි.

සොල්දාදුවන් විසින් ජනාධිපතිවරයා රඳවාගෙන සිටින බව ඊයේ(18) විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය බබු සිසේ මහතා අගනුවර වන බමාකෝ අසල පිහිටි හමුදා කඳවුරකට ගෙන ගියහ. එය හමුදා කුමන්ත්‍රණයක් ලෙස ද සඳහන් විය.

කීටා මහතා රූපවාහිනියෙන් ජනතාව අමතමින් කියා සිටියේ රජය සහ පාර්ලිමේන්තුව විසිරුවා හරින බවයි.බලයේ රැඳී සිටීම සඳහා කිසිදු ලේ වැගිරවීමක් අවශ්‍ය නොවන බව හෙතෙම එහිදී කියා සිටියේය.

කීටා මහතා 2018 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් දෙවන වරටත් ජයග්‍රහණය කළ නමුත් දූෂණය, ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කිරීම සහ වාර්ගික ප්‍රචණ්ඩත්වය ඉහළ යෑම හේතුවෙන් සෙබලුන් අතර ජනාධිපතිවරයා කෙරෙහි කෝපයක් හටගෙන තිබුණු බව සඳහන් විය. 

ජනාධිපතිවරයාට එරෙහි කැරැල්ල මෙහෙයවනු ලැබුවේ කැටි කඳවුරේ නියෝජ්‍ය ප්‍රධානී කර්නල් මලික් ඩ්‍යාව් සහ අණදෙන නිලධාරියකු වන ජනරාල් කාඩියෝ සමාරා විසිනි.

 

(බීබීසී ඇසුරිණි - 085)