මාලදිවයිනෙහි අත්අඩංගුවට පත් ලාංකික ධීවරයින් 21 දෙනා නිදහස්


මාලදිවයින  මගින් පසුගියදා අත්අඩංගුවට ගත් ධීවරයින් 21 දෙනා නිදහස් කර ඇතැයි  කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පවසයි.

පසුගිය සිකුරාදා ධීවර යාත්‍රා 04 ක  පිරිසක්   එරට මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
 
 මේ වන විට ධීවරයින් නිදහස් කළද ඔවුන් මෙරටට රැගෙන ඒමට විදේශ ගමන් බලපත්‍ර ඔවුන් ළඟ නොමැතිවීම හේතුවෙන් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම ගැටළුවක් වී ඇති අතර , විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ඔවුන්ට අවශ්‍ය විදේශ බලපත්‍ර හැකි ඉක්මනින් සකසා ඔවුන් ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමට කටයුතු නියමිතව ඇතැයි ද අමාත්‍යංශය සඳහන් කරයි.
 
 එමෙන්ම  ජාත්‍යන්තර මුහුදේ ධීවර රැකියාවේ නිරත වන මාලදිවයින් ධීවරයින් ද අවස්ථා කිහිපයක දී මෙරට දේශසීමාව උල්ලංඝණය කළ අවස්ථා පවතින බවත්,  ශ්‍රී ලාංකික ධීවරයින් ඉන්දියාව ඇතුළු වෙනත් රටවල දේශසීමා උල්ලංඝණය කිරිම අවම කිරීමට ඉදිරියේදී , යාත්‍රා නිරීක්ෂණය කරනු ලබන උපාංග මෙරට ධීවර කටයුතු වල නිරත යාත්‍රා වල සවිකිරීම සිදු කරන බවත් ඒ තුලින් දේශසීමා උල්ලංඝණය හා නීති විරෝධී කටයුතු අවම කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි  අමාත්‍යංශය පවසයි. 
 
 අත්අඩංගුවට පත් මෙම ධීවරයින් නිරුපද්‍රිතව මෙරටට ගෙන්වාගැනීමට අමාත්‍යාංශ ලේකම්වරයා සහ ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් මේ වන විට කටයුතු යොදා ඇති බව ද  අමාත්‍යංශය සඳහන් කළේය.

(36698)