මාලේහිදීය (රොයිටර්)
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා අත්අඩංගුවට පත්ව සිටින විපක්ෂයේ නායකයන් නවදෙනා නිදහස් කිරීම මාලදිවයිනේ ආණ්ඩුව විසින් ප්‍රමාද කරනු ලැබ තිබේ.
අත්අඩංගුවේ සිටින විපක්ෂයේ නායකයන් නවදෙනා කඩිනමින් නිදහස් කර මේ වසරේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඔවුන්ට ඉඩකඩ සලසන්නැයි ද ඔවුන්ට එල්ල කරන තිබෙන චෝදනා නැවත විමසා බලා අලුතින් චෝදනා ගොනු කරන්නැයි ද මාලිදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරනු ලැබ ඇත.
කෙසේ නමුත් එම නියෝගය නොතකමින් අත්අඩංගුවේ සිටින විපක්ෂයේ නායකයන් නවදෙනා නිදහස් කිරීම ප්‍රමාද කිරීමට එරට ආණ්ඩුව කටයුතු කර තිබේ. මේ තත්ත්වයත් සමඟ දේශීයව සහ අභ්‍යන්තර වශයෙන් මාලදිවයිනේ ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබේ.
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් බලයෙන් පහ කිරීමත් සමඟ එරට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය. මොහොමඞ් නෂීඞ් බලයෙන් පහ කෙරුණේ 2012 වසරේදීය. මොහොමඞ් නෂීඞ් යනු මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත්වූ පළමු ජනාධිපතිවරයාය.
බලයෙන් පහ කිරීමත් සමඟ ඔහුට ත්‍රස්තවාදයට උපකාර කළ බවට චෝදනා එල්ල වූ අතර වසර 13ක සිර දඬුවමක් ද නියම විය. කෙසේ නමුත් වෛද්‍ය තත්ත්වය සලකා බලන්නැයි හිටපු ජනාධිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කළ අතර හිටපු ජනාධිපතිවරයාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට අවස්ථාව ලබාදෙන්නැයි ජාත්‍යන්තරයෙන්ද මාලදිවයිනේ ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල විය. ඉන් අනතුරුව මොහොමඞ් නෂීඞ් හිටපු ජනාධිපතිවරයා එරටින් නෙරපීමට ආණ්ඩුව කටයුතු කළේය.
හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇතුළු විපක්ෂයේ නායකයන්ට එල්ල වී තිබෙන චෝදනා දේශපාලන මැදිහත්වීම් මත සිදු වී ඇතැයි ද එම චෝදනා එරට ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කර ඇතැයි මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.
මොහොමඞ් නෂීඞ් ඇතුළු විපක්ෂයේ නායකයන් නව දෙනාට ත්‍රස්තවාදයට සහාය දැක්වීමේ සිට දේශද්‍රෝහීවීම දක්වා චෝදනා රැසක් එල්ල වී තිබෙන අතර ඔවුන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අගවිවිනිසුරු අබ්දුල්ලා සයිද් සමඟ සාකච්ඡා කළ බව එරට නීතිපති මොහොමද් අනිල් සිකුරාදා (2) පැවැසීය.
නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සලකා බලමින් සිටින බවත් කඩිනමින් ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන බවත් මාලදිවයින් රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මොහොමඞ් නෂීඞ් ඇතුළු විපක්ෂයේ නායකයන්ට එල්ල වී තිබෙන චෝදනාවලින් ඔවුන් නිදහස් වීමත් සමඟ ඔවුන්ට ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබෙන අතරම ඔවුන්ට වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව තරග කිරීමට ද අවස්ථාව උදා වේ. කෙසේ නමුත් ත්‍රස්තවාදී චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව සීමා වී තිබේ. එහෙත් ඔවුන්ගේ සිරදඬුවම් කාලයෙන් තුනෙන් එකක් ගත කිරීමෙන් පසු ජනාධිපති සමාව ලැබුණහොත් ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් තිබේ.
එහෙත් අබ්දුල්ලා යමීන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව කටයුතු කරනු ඇත්දැයි මාලදිවයිනේ ඒකාබද්ධ විපක්ෂය සැක පළ කරයි.
“ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කරයි ද කියන කරුණ සම්බන්ධයෙන් විශ්වාසය තබන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකළහොත් රට තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ප්‍රචණ්ඩක්‍රියා ඇතිවෙන්න පුළුවන්” යැයි ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
055

