මාලක සිල්වාට එරෙහි නඩුව ඔක්තෝබර් 24 දාට කල්යයි


(නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා මහතා විසින් බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී විදේශීය යුවළකට පහරදුන් බව කියන සිද්ධියට අදාළ නඩුවේ උදෘත නිතිපති වෙත යොමු කර ඇතත් මෙතෙක් උපදෙස් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා වෙත අද (16) කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුවේ උදෘත ඩබ්ලිව් පී.1/13/2015 දරණ අංක යටතේ නිතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් මේ වන තුරු නිතිපති උපදෙස් ලැබී නැති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේ නඩුව යළි කැදවූ අවස්ථාවේදීය.

සැකකරුවන් වූ රමේෂ්වරන් කුලතුංග, ඖෂධගේ විස්කුම් විමලරත්න, මනතුංග දේවගේ ප්‍රියන්ත උපසේන, බෙන්තර උඩුගම විජේසේකර කෝරලලාගේ දොන් තරිදු රුක්ෂාන් විජේසේකර, සරත් චන්ද්‍රසිරි සහ ඉන්දික කුමාරසිරි යන ඇප මත සිටිමින් අධිකරණයේ පෙනී සිටි අතර, සැකකාර මනෝජ් මාලක සිල්වා යන අය වෙනුවෙන් නිතීඥ නියෝජනයක් සිදුවිය. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැකිල්ලට ගත් අධිකරණය, ලබන ඔක්තෝම්බර්  24 වැනිදා තෙක් නඩුව කල් තැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලක සිල්වා යන අය ඉකුත් 2014 නොවැම්බර් 1 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදාහරිනු ලැබ සිටියි.