මාර්තු 8 දාට පෙර එන්න මහේන්ද්‍රන්ට නියෝග


(ෂෙහාන් චාමික සිල්වා)

මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර සීඅයිඩිය හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය.

මෙම නියෝගය අධිවේගී තැපෑල සහ ඩීඑච්එල් කුරියර් සේවය හරහා මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පූරුවේ නිවසට යවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පෙබරවාරි 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් තම පියාණන් දැනුම්වත් වී සිටි බව අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ දියණිය අංජලී මහේන්ද්‍රන් සීඅයිඩියට ප්‍රකාශ කර ඇතැයි සීඅයිඩිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝඳාගොඩ මහතා අද (16) අධිකරණයට දන්වා සිටියේය. ඒ මහතා මේ බව දන්වා සිටියේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පෙබරවාරි 15වැනිදාට පෙර සීඅයිඩිය හමුවේ පෙනී සිටින ලෙසට ලබාදුන් නියෝගය අන්තර්ජාතික පොලිසියේ සිංගප්පුරු ශාඛාව වෙත ලබාදීමට නොහැකි වී ඇතැයි සීඅයිඩිය මෙහිදි අධිකරණයට දැනුම් දුන්නේය.