මාර්ග හැදූ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන සල්ලි ගන්න පරිපූරකයක්


(අංජුල මහික වීරරත්න)

ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ වන මාර්ග ව්‍යාපෘති වලට 2024 වර්ෂය සඳහා පරිපූරක අයවැය ප්‍රතිපාදන ඉල්ලීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පසුගිය වකවානුවේදී රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ ණය මුල්‍යකරණය හරහා ක්‍රියාත්මක කළ ඇතැම් ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබා දීම තාවකාලිකව අත්හිටුවන ලද බැවින්, විදේශ ණය මුල්‍යකරණය යටතේ ලබා දුන් ප්‍රතිපාදන සම්පුර්ණයෙන් යොදා ගැනීමට නොහැකි වී ඇතැයි රජය පවසයි. එසේම, අමුද්‍රව්‍ය මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් දේශීය මූල්‍ය කරණය යටතේ දරන ලද වියදම් ද විශාල ලෙස ඉහළ ගොස් ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති බිල්පත් පියවීම සඳහා දැනට වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වී තිබේ. මෙම කරුණ පිළිබඳව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගනිමින්, 2024 වර්ෂය සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත විදේශ ණය මූල්‍යකරණය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ඉතිරිවීම් වෙනුවට දේශීය මූල්‍යකරණය යටතේ අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.