බන්ධුල ඉලේපෙරුම
ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එහි ධාරිතාව වැඩිකර වඩාත් ශක්තිමත් කරනු පිණිස කොමිෂන් සභාවක් බවට පත් කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කළේය.
මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කෝපා කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතනවල කාර්යභාරය පිළිබඳ වූ කාර්ය සාධන විගණන වාර්තාව සළකා බැලීම එහිදී සිදුවිය.
සැමට ආරක්ෂිත මාර්ග පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ‘’මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව’’ කොමිෂන් සභාවක් ලෙස ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2019 වසරේ ලැබී තිබුණද නැවතත් එම අනුමැතිය ඉල්ලා සිටීම හේතුවෙන් දීර්ඝ කාලයක් ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය විය.
රාජ්‍ය ආයතන 16 ක නියෝජිතයන්ගෙන් සහ එක් රාජ්‍ය නොවන ආයතනයක නියෝජිතයකුගෙන් සැදුම්ලත් මෙම ආයතනය වඩාත් විධිමත් සහ ශක්තිමත් නොවීම නිසා මාර්ග අනතුරු පිළිබද පර්යේෂණ කටයුතු මෙහෙයවීම, මාර්ග අනතුරු වළක්වා ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ඇතුළු මාර්ග ආරක්ෂණ කටයුතු ප්‍රමාද වී ඇති බව හෙළි විය.
ඒඅනුව කොමිෂන් සභාව කඩිනමින් ස්ථාපිතකර සේවකයන් බදවාගෙන ආයතනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස කමිටුව ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.
මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 6-8 අතර ප්‍රමාණයක් මිය යන බවත් 2007 සිට 2016 දක්වා මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 25,607ක් මියගොස් ඇති බවත් මෙවැනි පසුබිමක මාර්ග අනතුරු වළක්වා ගැනීම සදහා ජාතික කර්තව්‍යක් සේ සළකා අදාළ සියලු පාර්ශවයන් සිය වගකීම ඉටුකිරීමේ වැදගත්කම මෙහිදී කමිටුව අවධාරණය කරන ලදී.
දැනට ලංකාවේ අතිවිශාල වශයෙන් ව්‍යාජ රියදුරු බලපත්‍ර ඇති බව මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වා දෙන ලදී. සැබෑ රියදුරු බලපත්‍රවලට 100% සමාන අයුරින් සකසන මෙම ව්‍යාජ රියදුරු බලපත්‍ර හදුනා ගැනීමට කිසිදු ක්‍රමවේදයක් හෝ මෙවලමක් මේවන තෙක් නොමැතිවීම බරපතල ගැටලුවක් බවද ඒ මහතා පෙන්වා දෙන ලදී. විශාල වියදමක් දරා සංගෘහිත පරිපථයක් (චිප් එකක්) අන්තර්ගත කර නව රියදුරු බලපත්‍ර නිකුත් කළද ඉන් මේවන තෙක් කිසිදු ප්‍රයෝජනයක් නොලැබීම කනගාටුවට කරුණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

