මාරපන ඇතුළු පිරිස එ.ජා. නිලධාරීන් හමුවෙන්නත් යති


( තිළිණි ද සිල්වා)
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වැනි සැසිවාරයට සහභාගීවීමට ජිනීවා නුවරට ගිය  විදේශ අමාත්‍ය තිලක් මාරපන ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිත පිරිස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් මිෂෙල් බැචලේ සහ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා හමුවූ බව ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කරයි.

එහිදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරිය මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳ ප‍්‍රසාදය පළ කළ බව ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළේය. 

විශේෂයෙන් ශ‍්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මණ්ඩල යෝජනාව ක‍්‍රියාවට නැංවීම පිළිබඳව ඇය මෙහිදී අවධානය යොමුකර ඇති අතර, ඒ සඳහා ශ‍්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමටද එකඟ වී ඇත.

එම කාර්යයේදී ශ‍්‍රී ලංකාවට තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බවද එහිදී මහ කොමසාරිස්වරිය අමාත්‍යවරයා හමුවේ පවසා ඇත.

මෙම හමුවට එක්වූ ජිනීවා නුවර ජගත් සංවිධාන කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම් මයිකල් මොලර් ද , සංහිඳියාව සාමය ගොඩනැගීමට සහ සංවර්ධනය උදෙසා ශ‍්‍රී ලංකාවට අඛණ්ඩ සහය ලබාදෙන බව ප‍්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය කියා සිටී.