පිලිපීනයේ මායොන් ගිනි කන්ද සක්‍රීය වි ලාවා පිටවීමට පටන්ගැනීම හේතුවෙන් ප්‍රධාන දූපත වන ලූසොන්හි 3000ක පමණ පිරිසක් ඉවත්කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන පර්යේෂණ ආයතනය පවසන්නේ කඳු මුදුනින් රත්පැහැති ලාවා සහ ඝන දුමාරයක් පිටවන බවයි.
ගිනි කන්ද වටා කිලෝමීටර් 11ක පමණ ප්‍රදේශයේ පාෂාණ කොටස් කඩා වැටීමට , නාය යෑමට හෝ හදිසි පිපිරීම් සිදුවීමට ඉඩ ඇති බැවින් අනතුරුදායක කලාපයක් ලෙස නම් කර ඇත.
ගුවන් යානාවලටද ගිනි කන්ද ආසන්නයෙන් ගමන් කිරීම අනතුරුදායක වියහැකි බවට උපදෙස් නිකුත් කර ඇත.
පිලිපීනයේ අගනුවර වන මැනිලා නුවරට කිලෝමීටර් 330ක් දුරින් පිහිටි මායොන් ගිනි කන්ද ලෝකයේ සක්‍රීයම ගිනිකඳු අතරින් එකක් ලෙස වර්ග කර ඇති අතර 1616 වර්ෂයේ සිට 47වාරයක් විදාරණය වී ඇතැයි සඳහන් වේ. 1814 වර්ෂයේ මෙම ගිනි කන්ද විදාරණය වීමෙන් 1200ක පමණ පිරිසක් මියගොස් ඇත.
මෙම කන්දේ ඇතිවූ හදිසි පිපිරීමක් හේතුවෙන් 2013 වර්ෂයේදී කඳු නගින්නන් පස් දෙනෙක් මියගියහ.
(සීඑන්එන් ඇසුරිණි - 085)

