මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ලංකාවට සහාය ලබාදෙනවා - ඇමෙරිකා තානාපති


හර්ෂණ තුෂාර සිල්වා

සංහිඳියා ක්‍රියාවලියේදී මෙන්ම දීර්ඝකාලීන සාමයක් උදා කරදීමේ ක්‍රියාවලියේදී ඇමෙරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බව  ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා මෙරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙමින් ප්‍රකාශ කර තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඊයේ (19) නිවේදනය කිරීමෙන් අනතුරුව තානාපතිවරයා අද (20) මෙලෙස ශ්‍රී ලංකා නිලධාරීන් හමු වී තිබේ. 

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජාත්‍යන්තරයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදෙන බව ද සඳහන් කර තිබේ.  

ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදයේ සමඅනුග්‍රහය ඇතිව 2015 වසරේදී 30/1 සහ 2017 වසරේදී 34/1 යනුවෙන් යෝජනා දෙකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලදි. අදාළ යෝජනාවල ඇති කරුණු සපුරා ගැනීමේදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ. 

අදාළ යෝජනාවල ඇති කරුණු සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර ඉදිරියේදීත් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශීය සබඳතා ශක්තිමත් කරගන්නා බව ද එහි සඳහන්ව කර ඇත. ලොව පුරා මිතුරන් සහ පාර්ශවකරුවන් ඇති කරගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව තවදුරටත් තහවුරු කරගැනීමට ද ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහයෝගය දෙන බව ද එහි සඳහන්ව ඇත.