මාධ්‍යවේදිනියට වරෙන්තුවක්


උසාවි භූමියේ ඡායාරූප ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය කළ කරුණු වාර්තා කිරීමක් අනුව ලංකාදීප මොරටුව ප්‍රාදේශීය මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය   වරෙන්තු නිකුත් කළේය.
 
අධිකරණයට රැගෙන ආ සැකකරුවකු පළා යෑමේ සිද්ධියක් ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදිනිය අධිකරණ භූමියේ ඡායාරූප ගත් බවට අධිකරණ ලේඛකාධිකාරීගෙන් ලද පැමිණිල්ලක් අනුව උසාවියට කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
 
සැකකරු පළා යෑම ගැන වාර්තා කිරීමට ගිය තමා අධිකරණය ඇතුළේ ඡායාරූප නොගත් බවත්, තමා ඡායාරූප ගත්තේ අධිකරණයෙන්   පිටත බවත් රේඛා තරංගනී ෆොන්සේකා මහත්මිය පොලිසියට ප්‍රකාශයක් දෙමින් කියා තිබිණි. එම සිද්ධිය වාර්තා කරද්දී පොලිසිය තමාට තර්ජනය කළ බව ද ඇය පොලිසිය පවසා තිබිණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර අධිකරණයට කරුණු වාර්තා කළ බවත්, ඒ අනුව ඇයට වරෙන්තු නිකුත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේය.