වරෙන්තු ලබා සිටි ලංකාදීප මොරටුව මාධ්‍යවේදී රේඛා තරංගනීට එරෙහිව ඇති නඩුව මොරටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉවෝන් ප‍්‍රනාන්දු මෙනවිය හමුවේ විභාගයට ගැනීම ගැටලූ සහගත බවට එම මාධ්‍යවේදිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පස්දෙනා කළ ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය එම නඩුව මොරටුව අතිරේක මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනීමට මොරටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉවෝන් ප‍්‍රනාන්දු මෙනවිය ඊයේ (10) අවසර ලබා දුන්නාය.
ඒ අනුව අතිරේක මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කළ ලංකාදීප වාර්තාකාරිනිය රු. 25,000ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කළ අතර මාර්තු 7 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මොරටුව අතිරේක මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
අධිකරණයෙන් සැකකරුවකු පලා යාමේ සිද්ධියක් වාර්තා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ අධිකරණය වාර්තාකාරිනියට වරෙන්තු නිකුත් කර තිබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ලංකාදීපය කළ විමසීමකදී ප‍්‍රකාශ කළේය.
එනමුත් මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා මහත්මිය මොරටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉවෝන් ප‍්‍රනාන්දු මෙනවියට ඉදිරිපත් කරමින් වරෙන්තු කිරීම පිළිබඳ විමසූ අතර එසේ වරෙන්තුවක් නොමැති බවට මහේස්ත‍්‍රාත්වරිය දැන්වූවාය.
කරුණු එසේ වුව ද පොලිසියෙන් වරෙන්තු රැුගෙන තම සේවාදායිකාවගේ නිවසට ගොස් ඇති බවත් ඉන්පසු වරෙන්තු නිකුත් කර දින එකහමාරකට පසුව වරෙන්තු අවලංගු කළ බව සිය සේවාදායිකාවට මොරටුව පොලිසිය පවසා ඇති බවත් මහේස්ත‍්‍රාත් හමුවේ නීතිඥ අජිත් ප‍්‍රසන්න මහතා පැවැසීය.
ඒ අනුව ඇති වී ඇති මෙම පරස්පර විරෝධීතාව මත මෙම නඩුව මෙම අධිකරණයෙන් අඬගැසීම පිළිබඳ ගැටලූ සහිත බැවින් සිය සේවාදායිකාව පිළිබඳ නඩුව අතිරේක මහේස්ත‍්‍රාත් වෙත යොමු කරන ලෙසත් නීතිඥවරු ඉල්ලා සිටියහ.
ඒ අනුව සියලූ කරුණු සලකා බැලූ මොරටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉවෝන් ප‍්‍රනාන්දු මෙනවිය අතිරේක මහේස්ත‍්‍රාත් වෙත නඩුව යොමු කළාය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනතාවට තොරතුරු හෙළි කිරීමේ ඇති අයිතිය වෙනුවෙන් ලංකාදීප මාධ්‍යවේදිනී රේඛා තරංගනී මහත්මිය පෙනී සිටි බවත්, සිය වෘත්තිය කටයුතු ඉටු කළා මිස අධිකරණයට අපහාස වන ලෙස ඇය කටයුතු නොකළ බවත් නීතිඥ විශ්වා ගුණරත්න, මනෝජි ගුණවර්ධන සහ අජිත් ප‍්‍රසන්න යන මහත්ම මහත්මීහු සහ ඔමෙගා සේනානායක මෙනවිය, මහේස්ත‍්‍රාත් හමුවේ පැවැසූහ.
මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා මහත්මියට එරෙහිව නඩුවේ මූලාශ‍්‍රයක් නොමැති බවටත් කරුණු හෙළිවී ඇති බැවින් නඩුවක් ගෙන යා හැකි ද යන්න බවත් නීතිඥවරුන් අතිරේක මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාගෙන් විමසූ අතර ඒ මහතා මේ නඩුව ඉදිරියට ගෙන යා හැකි ද යන්න සොයා බලා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැන්වීය.
මෙම නඩුව වෙනුවෙන් නීතිඥවරුන් පස්දෙනකු පෙනී සිටි අතර විජය පුවත්පත් සමාගම වෙනුවෙන් නීතිඥ විශ්වා ගුණරත්න, නීතිඥ මනෝජි ගුණවර්ධන යන මහත්මීන් සමඟ ඔමෙගා සේනානායක මෙනවිය පෙනී සිටි අතර ලංකාදීප මාධ්‍යවේදිනියට සහාය පළ කරමින් නීතිඥවරුන් වන අජිත් ප‍්‍රසන්න මහතා ද තුසිතා නාමලී ද සිල්වා මහත්මිය ද පෙනී සිටියහ.
මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා මහත්මියට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් ජාතික ප‍්‍රාදේශීය එකමුතුව විසින් අධිකරණ කොමිෂන් සභාවේ ලේකම්වරයාට සහ අගවිනිසුරුට ලිපි බාරදීම ද සිදු කර ඇත.

