මාතරිනුත් නාමයෝජනා 4 ක් ප්‍රතික්ෂේප වෙයි


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මෙවර මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයට තරග කිරීම සදහා ඉදිරිපත් කළ පිළිගත් දේශපාලන පක්ෂ තුනක හා ස්වාධීන කණ්ඩායමක නාම යෝජනාපත්‍ර ප්‍රතික්ෂේප වූ බව මාතර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී හා දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පැවසීය.

ජනසෙත පෙරමුණ,ජාතික කොංග්‍රසය,ශ්‍රීලංකාවේ සමාජවාදී පක්ෂය හා ගාමිණි පතිනායක මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා එසේ ප්‍රතික්ෂේප වී තිබේ.

නාමයෝජනා පත්‍රවල අඩු පාඩු හා නිසි බලධාරියා විසින් බාර නොදීමෙන් කරුණු මත එම නාම යෝජනාපත්‍ර ප්‍රතික්ෂේප වී ඇත.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සදහා මාතර දිස්ත්‍රික්කයට තරග කිරීම සදහා බාර දුන් පිළිගත් දේශපාලන පක්ෂ 13ක සහ ස්වාධීන කණ්ඩායම් 7ක නාම යෝජනා පිළිගෙන තිබේ.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ,ජාතික ජන බලවේගය,එක්සත් ජාතික පක්ෂය,සමගි ජන බලවේගය,ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ,ලිබරල් පක්ෂය,මව්බිම ජනතා පක්ෂය,පෙරටුගාමීසමාජවාදී පක්ෂය,අපේ ජන බල පක්ෂය,එක්සත් වාමාංශික පෙරමුණ,ජාතික ජනතා පක්ෂය,ජාතික සංවර්ධනපෙරමුණ,සිංහලදීප ජාතික පෙරමුණ ආදී පක්ෂ වල නාම යෝජනා පිලි ගෙන ඇත.

ජිනප්‍රියපතිරණගේසීමන් මේරූ,තිලිණ ප්‍රසාද්, රසික විජේසිංහ, රාජපක්ෂ ගුණරත්න,උදය කීර්ති විජයවංශ,ඉරෝෂන්ප්‍රීතිකුමාරහා දිලක්ෂිකුමාරි යන මහත්ම මහත්මීන්ගේ නායකත්වයෙන් යුත් ස්වාධීනකණ්ඩායම් වල නාම යෝජනා පත්‍රද පිලි ගෙන තිබේ.

මාතර දිස්ත්‍රික්කයට තරග කිරීම සදහා පිලිගත් දේශපාලන පක්ෂ 16 ක් හා ස්වාධීන කණ්ඩායම් 8 ක් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණි.