(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර නගරයේදී කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ බිරිඳ හා දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 20 මුදලක් මාතර ව්‍යාපාරික ප්‍රජාව විසින් ලබා දීමට ඉදිරිපත්වී ඇති බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ලබන වසරේදී පාසල් අධ්‍යාපනයට ඇතුලත් වීමට නියමිතව සිටින ඒ මහතාගේ වැඩිමහල් දියණිය මාතර සුජාතා බාලිකා විද්‍යාලය වෙත ඇතුලත් කීරීමට අවශ්‍ය කටයුතු තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් භාර ගෙන තිබේ.
දැනට මාතර අයි.ඩී.එම්.ජාතීන්ගේ පාසලේ ඉගෙනුම ලබන වීරසිංහ මහතාගේ වැඩිමහල් දියණිය හා අවුරුදු තුනක් වයසැති බාල පුතුට පෙර පාසල් අධ්‍යාපනය අවසන් වන තෙක් ගාස්තු අය කර ගැනීමකින් තොරව නොමිලේ අධ්‍යාපන කටයුතු සිදු කර දෙන බව එහි විදුහල්පතිනී ගයනි වඩනම්බි මෙනවිය පැවසුවාය.
දරුවන් දෙදෙනාට පෙර පාසල් අධ්‍යාපනයේ සිට සරසවි අධ්‍යාපනය අවසන් වන තෙක් සෑම වසරකටම අවශ්‍ය පොත් පත් , පාසල් උපකරණ , සපත්තු , නිල ඇදුම් ආදී සියලු දෑ ඇතුලත් ශිෂ්‍යත්වයක් ලබා දීමට ඒ.එස්.බී.සමූහ ව්‍යාපාරයේ සභාපතිනී ක්‍රිෂාන්තී ජීවන්ති පේදුරුආරච්ච් මහත්මියගේ උපදෙස් මත එහි කළමණාකාර අධ්‍යක්ෂක අසංක ප්‍රසාද් මහතා කටයුතු කර තිබේ.
ඊට අමතරව මාතර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් තම සහෝදර නිලධාරියාගේ දරු පවුල වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීමට නියමිතව තිබෙන අතර එම මුදලින් ඔවුන්ගේ නිවසේ උඩු මහලේ වැඩ තුන් මාසයේ දානමය පිංකමට පෙර අවසන් කර දීමට නියමිතව ඇත.
මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය සිදුකරනු ලබයි.