මාතර නගරය පුරා කසළ ගොඩගැසේ


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර කොටවිල කසල අංගනයට කසළ බැහැර කිරීම මාස තුනක කාලයක් වලකාලමින් මාතර මහ නගර සභාවට එරෙහිව අධිකරණ නියෝගයක් ලැබීම හේතුවෙන් අද (08) වන විට මාතර නගරය පුරා කුණු කසල ගොඩ ගැසී තිබුණි.

මේ නිසා කසළ එකතු කිරීම පසුගිය 03 වැනිදා සිට මාතර මහ නගර සභාව නවතා දමා තිබෙන අතර ඒ හේතුවෙන් නගරය පුරා දැඩි දුර්ගන්ධයක් පවතී. එමෙන්ම කපුටන් හා මදුරුවන් වැනි සතුන්ගේ ද ගහනය වැඩිවීමට පටන් ගෙන ඇත.

උද්ගතව ඇති තත්වය පිළිබඳව සොයා බැලීමට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ද අද  (08) උදෑසන මාතර නගරයට පැමිණ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඊට මාතර මහ නගර සභාවේ වැඩබලන පුරපති චතුර කරුණාරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගී වූහ. කුණු කසළ ඉවත් නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට මහ ජනතාවගේ විරෝධය ද එල්ල විය.

මේ නිසා කොටුවේගොඩ අවට ව්‍යාපාරික කටයුතු කර ගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී තිබේ. ඇතැම් ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇත. මෙම  අධිකරණ නියෝගය හේතුවන් දිනකට මාතර නගරයේ එකතු වන ටොන් 30 ක පමණ කුණු ඉවත් කර දැමීමට තැනක් නොමැති බව ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණ චාරිකාවේ දී අනාවරණය වී තිබුණි.

මේ පිළිබදව අද (08) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමේ දීද දීර්ඝ වශයෙන් වාද විවාද ඇති විය.

එහිදී මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතා කියා සිටියේ තමා රාජකාරි භාර ගෙන දෙසතියක් පමණ වන බවද මීට වසර එක හමාරකට පෙර කොටවිල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අදාල කුණු කන්දට එරෙහිව ලැබී ඇති මහජන පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා එහි තීන්දුව පසුගිය 27 වැනිදා ලබා දී ඇති බවයි.

අදාළ තීන්දුව පිළිබඳව යළි සලකා බැලීම සදහා මෝසමක් ඉදිරිපත් කරන ලෙසට ද ඔහු මාතර නාගරික කොමසාරිස්වරියට  දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක්වු දකුණු පලාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා කියා සිටියේ පුද්ගලයින් 25 දෙනෙකුගේ පීඩාවට විසදුම් ලබා දීමට පොලීසිය ක්‍රියා කිරීම නිසා අද වන විට මාතර ලක්ෂ ගණනකගේ ජීවිත අනතුරකට ඇද දමා ඇති බවත් එය එසේ විය හැකි බවට තමා පොලීසියට ප්‍රකාශයක් ද කර ඇති බවයි.

කෙසේ නමුදු ඇති වී තිබෙන තත්වය මත බදාදා (10) පැවැත්වීමට නියමිත මාතර මහජන පොළ  වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා නියෝග කළේය.

කෙසේ නමුදු මේ නිසා මාතර ප්‍රදේශයේ ඩෙංගු අවදානම ද ඉදිරි දිනවලදී සැළකිය යුතු ආකාරයට ඉහළ යා හැකි බවට මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය. එසේ වුවහොත් පාසල්ද වසා දැමීමට ද සිදු වන බවට ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා කර්මාන්ත සහ වාණිජ කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කියා සිටියේ මෝසමක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඉතා ඉක්මණින් මේ තත්වයට විසදුමක් සොයා ගත යුතු බවයි.

ඒ අනුව අදාල මෝසම මාතර මහ නගර සභාව විසින් අද (09) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.