(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ලකෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කළ බව කියන කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා ලබන 30 වැනිදා තෙක් හදුනා ගැනීමේ පෙරෙට්ටුව සදහා තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (16) නියෝග කළාය.
ඔවුන් වෙනුවෙන් දෙවැනි දිනටත් හදුනා ගැනීමේ අද (16) පැවැත්වීමට නියමිතව තිබුණද මෙම සිද්ධියේ සැකකරුවකු වු කොස්ගොඩ තාරකගේ සහෝදරයා වන ධර්මකීර්ති මදුක නිර්මාල් පෙරේරා නොහොත් කොස්ගොඩ මදුක වෙඩි වැදීමෙන් තුවාල ලබා තවම කොළඹ ජාතික රෝහලේ ලබන නිසා පෙරෙට්ටුව මීලඟ දිනට කල් තැබිණි.
ඒ අනුව දැඩි ආරක්ෂක රැකවල් මැද රැගෙනවිත් තිබු මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු වන කොස්ගොඩ නානතොට , නෙල්ලිගස්කැලේ පදිංචි ධර්ම කීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක හා අනුරාධපුර දුටුවැව හීරන්දෙනිය ගෙදර අතුල කිත්සිරි කුමාර නොහොත් නාරම්මල මලා දෙදෙනා සමග රෝහල් ගතකර සිටින සැකකරු ද තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ඊට අමතරව මෙම අපරාධය සිදු කිරීමට උපයෝගී කර ගත් මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගත් හෝමාගම පදිංචි කපිල කුමාර නැමැත්තා ද තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙසට නියෝග කෙරිණි.
අගුණුකොල පැලැස්ස බන්ධනාගාරයේ සිට කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් ආවරණය කර රැගෙන ආවේ පොලිස් ආරක්ෂාවද සහිතවය.ඒ වෙනුවෙන් බන්ධනාගාර බස් රථ දෙකක් පැමිණ තිබුණි.
කොස්ගොඩ තාරක නැමැත්තා වෙනුවෙන් නීතිඥ වරුන් වන අනුර ද සිල්වා හා රංග ද සිල්වා යන මහත්වරු පෙනී සිටියේය.
කොස්ගොඩ තාරකගේ නායකත්වයෙන් යුත් මෙම පාතාල කල්ලිය ඉකුත් 22 වැනි දින මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් තුළට කඩා වැදී ගිනි අවි පෙන්වා රන් ආභරණ මංකොල්ලකා තිබුණි.