මාතර එළියකන්ද නායයයි


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර එළියකන්ද අද(1) උදෑසන හදිසියේ නාය යාමට පටන් ගැනීම නිසා මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ වෙරළ පාර කොටස වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇත.

මේ නිසා මාතර සිට කතරගම දෙසට ධාවනය වන රථ වාහන මාතර මැද්දවත්ත ඔස්සේ ධාවනය කරවීමට ක්‍රියා කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

අද උදෑසන 9.30ට පමණ එක්වරම එම කන්ද නාය යාමට පටන් ගත් අතර කන්දේ තිබු පොල් ගස් ඇතුළු විශාල ගස් ද මුලින් උදුරා පාරට ඇද වැටී තිබිණි.

එම අවස්ථාවේ දී රථ වාහන ද පාරේ ගමන් කරමින් තිබු අතර කිසිවකුට හෝ හානියක් සිදු වී ඇත්ද යන්න මේ වන තෙක් හෙළිවී නොමැත.

කෙසේ වෙතත් මාතර දිස්ත්‍රික්කයට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාවත් සමග එම කන්ද තව දුරටත් නාය යාමේ ලක්ෂණ පෙන්නුම් කරයි.

එම නිසා ප්‍රදේශවාසීන්ට එම ස්ථානයට යාම තහනම් කර තිබු අතර මාර්ගය දෙපස පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවනු ලැබ සිටිති.

මාර්ග සංවර්ධන නිලධාරින් හා පොලීසිය එක්ව බැකෝ යන්ත්‍ර යොදා ගෙන දැඩි වර්ෂාව මධ්‍යයේ පාර මැද තිබු පස් හා ගස් ඉවත් කිරීමට උත්සාහ කරන අයුරු දැක ගත හැකි විය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය පරික්ෂා කිරීමට පැමිණීමට නියමිතව තිබුණි.