මාගම්පුර සේවකයෝ තවත් උපවාසයකට සැරසෙති


දිලීප් ජයසේකර
 
හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින්ගේ අහිමි කළ රැකියා සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් අඟහරුවාදා (09) සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි.කේ.ඔමේෂ් මහතා පවසයි.
 
හම්බන්තොට මාගම්පුර වරායේ සේවය කළ සේවකයින්   ඉවත් කළේ  ඉතා අසාධාරණ ලෙස බව ද ඔහු කීවේය.
 
‘ ‘එහි සේවය කළ සේවකයින්ට සිය රැකියාව අහිමි වෙලා තියෙනවා. රජය පැත්තෙන් කියන්නේ රැකියා අහිමි වෙන එක් අයෙකුට රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක පමණ වන්දියක් දෙන්නම්ලු. නැත්නම් අපිට වරායේ තියෙන මෑන් පවර් එකට සම්බන්ධ වෙන්නලු. අපි ඒකට කැමති නෑ. අපිට රැකියා දුන්නේ වරාය අධිකාරියට බඳවා ගන්නවා කියලයි. ඉතින් එහෙම එකේ ඇයි දැන් මේ රජය වෙනස් ප්‍රථිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ. අපේ රැකියා සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලා අපේ දෙමාපියන් වරාය ඉදිරිපිට දින 49ක් තිස්සේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙනවා. තවමත් කිසිදු බළධාරියෙකුගෙන් අපිට සාධාරණයක් ඉටු නොවුණ නිසා සේවකයින් පිරිසකුත් ඊයේ (06) සිට වරාය ඉදිරිපිට වෙනම සත්‍යග්‍රහයක් ආරම්භ කළා. අපි මේ ආරම්භ කළ සත්‍යග්‍රහය මේ විදියට කරගෙන යන්නේ අගහරුවාදා වෙනකම් විතරයි. අගහරුවාදා වෙනකොට රජය පාර්ශවයෙන් අපිට සාධාරණ විසදුමක් නොලැබුනොතින් අපි අඟහරුවාදා සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරනවා.‘‘ යැයි ද ඔමේෂ් මහතා කීවේය.