(හර්ෂණ තුෂාර සිල්වා)
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු පැවරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමගම අතර අත්සන් තබන ලද ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබූ ඇමෙරිකන් ඩොලර් මිලියන 292.1 ක මුදල ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඉකුත් දෙසැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකාව නිල වශයෙන් හම්බන්තොට වරායේ වාණිජ කටයුතු සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් චීන සමාගම වෙත පැවරීය. අදාළ සම්පූර්ණ ගිවිසුමේ වටිනාකම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.12කි.
ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත අදාළ මුදල බැර වූ බව ද මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් සඳහන් කර තිබේ.
ලොව කාර්යබහුලම නාවික ගමන් මාර්ගයකට මුහුණලා තිබෙන හම්බන්තොට වරාය එහි මෙහෙයුම් කටයුතු 99 අවුරුදු බද්දක් යටතේ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් වෙත පවරන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමාගම අතර ඒකාබද්ධ ගිවිසුමකට ද අත්සන් තැබිණි.
එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක මුදලක වියදමින් ඉදි කරන ලද හම්බන්තොට වරාය 2010 වසරේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ද වාණිජ ක්‍රියාකාරකම් නොමැති වීම හේතුවෙන් පාඩු ලැබීය.
හම්බන්තොට වරාය චීනයේ ‘වන් බෙල්ට් වන් රෝඩ්’ නූතන සාගර සේද මාවත යනුවෙන් නම් කර තිබෙන චීන ව්‍යාපෘතියේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වනු ඇතැයි ද පැවසේ.

