මාගම්පුර වරායේ චීන ධජය එසවීම ගැන ගම්මන්පිල විමසයි


(විනීතා එම්.ගමගේ)

මාගම්පුර  වාරායේ චීන ජාතික ධජය එසවීමේ අරුත එම වරාය චීනයට පවරා දීමක් දැයි සැක ඇතිවන බව පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

යම් භූමියක් අයත්වන්නේ කුමන රටකටද යන්න සඳහන් කරන කාරණයක් ලෙසත් එහි ක‍්‍රියාත්මක වන නීතිය අදාලවන රට කුමක් ද යන්නත් ඔසවන ලද ධජයෙන් පෙන්වන බැවින් මාගම්පුර වරායේ චීන ධජය එසවීමෙන් පෙන්වන්නේ එහි චීන නීතිය ක‍්‍රියාත්මක වන බව දැයි හෙතෙම ප‍්‍රශ්න කළේය.

‘‘ ශ්‍රී ලංකා භූමියේ එසවිය හැකි එකම ජාතික ධජය ශ‍්‍රී ලංකා ජාතික කොඩිය පමණයි. ඒ හැරුනු විට තානාපති කාර්යාලවලට එම කාර්යාල භූමියේ අදාල රටේ ධජය එසවිය හැකියි. එහෙමනම්  චීන ජාතික ධජය එසවිය හැක්කේ එරට තානාපති කාර්යාල භූමියේ පමණයි. එහි අදහස එම භූමියේ ක‍්‍රීයාත්මක වන්නේ අදාල කොඩිය හිමි රටේ  නීතිය බවයි‘‘ යැයි ද මන්ත‍්‍රීවරයා කීය.

මන්ත‍්‍රීවරයා මේ අදහස්  පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද (03) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුව අමතමිනි.