රත්නපුර මහේස්ත‍්‍රාත් නිල නිවාස මුරකුටිය ප‍්‍රමිතියෙන් තොරව ඉදිකළැයි ඉදිරිපත් කළ බිල්පත්හි අසත්‍ය තොරතුරු ඇති හෙයින් මුදල් ගෙවීම් සඳහා වන පොදු 35 ආකෘතිපත‍්‍රය සහතික කළ නොහැකි බව රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් කේ.ඩී.එල්.සමන් කුමාර මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතාට දැනුම්දී ඇත.
අවසාන බිල්පත අංක 12 අයිතමය වන මෙම මුරකුටියේ වහල සඳහා යෙදිය යුතු ලී වර්ගය වන කෙම්පස් ලී වෙනුවට ගිනිකූරු හා කොස් ලී, ග‍්‍රාන්ඩිස් ලී යොදාගෙන ඇති බවට නීරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වෙයි. එම ලී සඳහා වැයකළ මුදල ලෙස රුපියල් 36936 ක් වියදම් කළ බව අවසන් බිල්පතේ සටහන්ව ඇත.
අවසාන බිල්පතේ අයිතම අංක 36 වැඩ විස්තර අනුව පීවීසී වැහි පිලී යෙදීම සහ ජල බස්නා නළ යොදා නැතිබව මේ පිළිබඳ නීරීක්‍ෂණ සිදුකළ සටහන් අනුව කියවේ. මේ සඳහා වැයකළ මුදල් ප‍්‍රමාණය (7912.08) හත්දහස් නවසිය දොළහකුත් ශත අටක් බව අවසාන බිල්පතේ සඳහන්වෙයි.
අංක 31 අයිතමය වන දැව ආරක්‍ෂිත ආලේපන ගල්වා නොමැති බව නිරීක්‍ෂණයවී ඇත. නමුත් ඒ සඳහා වැයකළ මුදල ලෙස රුපියල් 3840ක් අවසාන බිල්පත සඳහන් කර ඇත.
විදුලි පරිපථ ස්විචයක් මෙම මුර කුටයේ සවිකර නැතිබව නිරීක්‍ෂණ අනුව තහවුරුව ඇත. නමුත් අවසාන බිල්පත එම ස්විචය සඳහා රුපියල් 2900ක් වැයකර තිබෙන බව සටහන්ව ඇත.
අංක 32 පරිදි සීඑෆ්එල් බල්බ සවිකර නොමැති බව නිරීක්‍ෂණව ඇත. එනමුත් එම බල්බ තුනක් යෙදීමට රුපියල් 3000ක් වැයවූ බව අවසාන බිල්පතේ සඳහන්ව තිබේ.

