මහින්දානන්දට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවරූ නඩුවේ විභාගය 10 වැනිදා


(මනෝප‍්‍රිය ගුණසේකර)

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක‍්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය, පාර්ලිමෙන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ පවරන ලද නඩුව ලබන ඔක්තෝබර් 10 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා  තීරණය කළේය.

මෙම නඩුවේ සාක්කි කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විමසීම ආරම්භ කිරීමෙන් අනතුරුව විත්ති පාර්ශවය ඉදිරිපත් කළ අභියාචනයකට අනුව මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය නියෝගයක් ලබාදීමෙන් අනතුරුව මෙම නඩුව කැඳවනු ලැබු  විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක‍්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය, පාර්ලිමෙන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණයේ පෙනී සිටියේය.

2012 ඔක්තෝම්බර් මස 30 වැනිදාත් 2013 අපේ‍්‍රල් මස 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධුරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ හා මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුව කැඳවු මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා මෙම නඩුව ලබන ඔක්තෝබර් 10 වැනිදා සිට විභාග කිරීමට නියම කළ අතර පැමිණිල්ලේ සාක්කිකරුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසිද නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙන්වෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියහ.