මහින්දානන්දට අධි චෝදනා ගොනු කිරීමට අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කරන්න යයි


(නිමන්ති රණසිංහ)
 
හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහි අල්ලස් නඩුව සම්බන්ධයෙන් තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීම සදහා අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කරන බව නිතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක නියෝජ්‍ය සොලිසටර් ජනරාල් අසාද් නවාවි මහතා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානනායක මහතා හමුවේ ප‍්‍රකාශ කළේය.


තෝරාගත් පාසල්, කී‍්‍රඩා සංගම් සඳහා කැරම් බෝඩ් සහ දාම්බෝඩ් 14,000/-ක් බැගින් ආනයනය කර, රුපියල් කෝටි 5කට අධික මුදලක් රජයට පාඩු කළැයි අධිකරණය හමුවේ කැඳවනු ලැබූ මෙම සිද්ධියට අදාළ නඩු විභාගයේ දී චූදිත වූ හිටපු කී‍්‍රඩා අමාත්‍ය මීතලාවේ මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තු සැසිවාරය හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.


මෙම සිද්ධියට අදාළ නඩුව ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ කැදවීම සදහා අධි චෝදනා ගොනු කිරීම සදහා අගවිනිසුරුවරයාගෙන් විමසීමක් සිදුකරනු ලබන බවත් එහිදී අවසර ලබා දුන හොත් එය එම අධිකරණය හමුවේ කැදවීමට අදහස් කරනු ලබන බවත් නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.


ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ නඩුව ලබන සැප්තැම්බර් මස 4 වැනි දා තෙක් කල් තැබීය.