මහින්දානන්දගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි


( රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )
 
පොදු දේපළ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය අද (06) ප්‍රතික්ෂේප කළේය.

 
දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව විමර්ශනයකින් අනතුරුව ප්‍රමාණවත් කරුණු ඇත්නම් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය පවතින බවද අභියාචනාධිකරණය විසින් ප්‍රකාශිත නියෝගයේ සඳහන් වේ.
 
මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසිනි.නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් අභියාචනාධිකරණය මෙම පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලදී. 
 
පසුගිය රජය සමයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට කැරම් සහ දාම් ආම්පන්න මිළඳී ගැනීමේදී රුපියල් කෝටි පහකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බැවින් එය වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
 
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ඇතුළු පස් දෙනෙක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටි අතර නීතීපති වෙනුවෙන් රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේය.