තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
තමන්ට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය අද (05) නීතිපතිවරයාට නොතීසි නිකුත් කළේය.
ඒ අනුව ලබන මැයි 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දක්වන ලෙසටද නීතිපතිවරයාට එහිදී නියෝ කෙරිණි.
මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (05) අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා සහ විනිසුරු කුමුදිනී වික‍්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳැවිණි.
මීට පෙර පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා කියා සිටියේ අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පෙත්සම්කරුට එරෙහිව කොළඹ මහාධිකරණය යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පැවරූ නඩුව විභාගයට ගනු ලබන විනිසුරුවරයා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ කොමිසමේ සාමාජිකයෙකු හැටියට කටයුතු කරන බවයි.
මෙම කොමිසම නිකුත් කළ වාර්තාවේ පෙත්සම්කරුට එරෙහිව විමර්ශනයක් සිදු කළ යුතු බවට කරුණු සඳහන් කොට තිබෙන බවත් , එම විනසුරුවරයා ඉදිරියේ පෙත්සම්කරුගේ නඩු විභාගය සාධාරණ සහ යුක්තිසහගත විනිශ්චයක් බලාපොරොත්තු විය නොහැකි බවත් පෙත්සමෙන් කියා තිබිණි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණයේ පවතන නඩුකරය ඉතාම සාධාරණ ලෙසින් විභාගය වන බවයි. එසේම ඔහුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති චෝදනා නිසි ලෙස පරීක්ෂණ පවත්වා ඉදිරිපත් කළ බව ඔහු අභියාචනාධිකරණය හමුවේ පැවසීය.
මහින්දානන්දගේ අභියාචනයට කරුණු දක්වන්න නීතිපතිට නොතීසි
Recommended Articles