මහින්දලාගේ පොහොට්ටුවට දැවැන්ත ජයක්


2018 පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහයෝගය හිමි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයක් ලබාගත්තේය. අද රාත්‍රී 10.30 වන විට ප‍්‍රකාශයට පත්කරන ලද ප‍්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 341 න් ආයතන 222 ක බහුතරය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව සිටියේය. 

පළාත් පාලන ආයතන 41 ක බලය එක්සත් ජාතික පක්ෂය විසින් අත්පත් කරගන්නා ලද අතර ද්‍රවිඩ ජාතික සන්ධානයට පළාත් පාලන ආයතන 34 ක බහුතරය හිමිවී තිබිණ. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආයතන 10 ක් හිමිවූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 4 ක් හිමිවී තිබිණ.

මෙම ප‍්‍රතිඵලයත් සමගින් ශී‍්‍ර ලංකාවේ දැනට පවතින දේශපාලන සැකිල්ල දෙදරා යාමට බොහෝ ඉඩකඩ ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 

ඡුන්ද ප‍්‍රතිඵල සම්බන්ධයෙන් තරමක් කැළඹීමට පත්ව සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ සිටින සියලූම ඇමතිවරුන් වහාම කොළඹට කැඳවා ඇතැයිද වාර්තා වේ. 

නෙළුම් පොහොට්ටුව ලකුණින් තරග කළ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මේ දක්වා හිමිකරගෙන තිබෙන සමස්ත ඡුන්ද සංඛ්‍යාව 49,41,952 ක් වන අතර සමස්ත ඡුන්ද ප‍්‍රමාණයෙන් 45.09 ‍% ක ප‍්‍රතිශතයකි. මෙම ඡන්ද සංඛ්‍යාව අනුව ශී‍්‍ර  ලංකා පොදුජන පෙරමුණට හිමිවී ඇති පළාත් පාලන සභික සංඛ්‍යාව 3369 කි. 

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ආසන්නතම ප‍්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්‍ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36,12,259 කි. ප‍්‍රතිශතයක් වශයෙන් එය 32.63 % ‍ ක් වන අතර එක්සත් ජාතික පක්‍ෂයට හිමිවී ඇති සභික සංඛ්‍යාව 2385 කි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී ඇති ඡන්ද සංඛ්‍යාව 9,89,821 ක් (ප‍්‍රතිශතය 8.94 % ක්) වන අතර ජනතා විමුක්ති පෙරමුණට හිමිවී ඇති ඡන්ද සංඛ්‍යාව 6,93,875 (ප‍්‍රතිශතය 6.27 ‍% කි). ප‍්‍රතිඵල ලයිස්තුවේ පස්වැනි ස්ථානයට ඇද වැටී තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට විසින් හිමිකරගන්නා ලද ඡන්ද සංඛ්‍යාව 4,91,835 (ප‍්‍රතිශතය 4.44 ‍%) කි. 
මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්‍ෂය එක්ව 2015 වසරේදී ජාතික ආණ්ඩුව (යහපාලන රජය ) පිහිටුවාගනු ලැබීමෙන් පසුව පැවැත්වෙන පළමු වැනි මැතිවරණය මෙයයි. 

”රාජපක්‍ෂලාගේ මේ ජයග‍්‍රහණය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට බොහෝ ගැටළු ඇතිකරන්න පුළුවන්” යයි දේශපාලන අවදානම් සහිත වූවන් සඳහා වන යුරෝපා සහ ආසියානු කණ්ඩායමේ අධ්‍යක්‍ෂ ෂයිලේෂ් කුමාර් මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබිණ. 

විරුද්ධ පාක්‍ෂිකයකු මෙන්ම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වන දිනේෂ් ගුණවර්ධන මහතා කියන්නේ ජනතාව විසින් රජය ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් රජය වහාම ඉල්ලා අස්වී ගෙදර යා යුතු බවත්ය. 

මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග සිටි මහජන නියෝජිතයන් 54 දෙනෙක් මේ වන විටත් මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වී සිටිති. පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජතයන් 225 දෙනාගෙන් 106 ක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සිටින අතර 41 දෙනෙක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා යටතේ සිටිති. 

”මේ තත්ත්වය අනුව පාර්ලිමේන්තුවේ කල්ලි ගැසීම් ඇතිවෙන්න පුළුවන්. ඒවායේදී රාජපක්‍ෂලා තීරණ ගනීවි” යයි දේශපාලන තීරු ලිපි රචකයකු වන කුසල් පෙරේරා මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබිණ. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඡුන්ද ව්‍යාපාරය මෙහෙයවීමේදී සිය ප‍්‍රධානතම අවිය වශයෙන් භාවිතා කළේ ඉහළ යන ජීවන වියදම සහ ෂණ සහ වංචා සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය අපොහොසත් වීමයි. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරිමත්, විශ‍්‍රාමික රණවිරුවන්ගේ සුබ සාධනයත් සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ අවධානය යොමු විය.