මහින්දට ටෙලිප්‍රොම්ප්ටරයක්


මහින්ද රාජපක්ෂගේ අනුරාධපුර මංගල රැලියේ වේදිකාවේ සිදුවූ දෙයක් කිහිප දෙනෙක් දුටුවේ නැත. එක් පසෙකින් දිසාපති කාර්යාලයෙන්ද දෙපැත්තකින් මහ පාරෙන්ද වටවූ පුංචි සල්ගාදු පිටියේ එක් වේදිකාවක සිටින එක්සත් ජනතා සන්ධාන ආධාරකරුවන් ඇමතූයේ මෛක්‍රෆෝනයකිනි. තවත් මෛක්‍රෆෝනයක් එහි විය. එය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙනුවෙනි.

එම මෛක්‍රෆෝනයේ විශේෂත්වය වූයේ එතැන ටෙලිප්‍රොම්ප්ටරයක්ද තිබීමයි. ටෙලිප්‍රොම්ප්රටය යනු කතිකයා කළ යුතු කථාව ලොකු අකුරෙන් විද්‍යුත් තිරයකින් කතිකයාට පෙන්වීමයි. තිරයේ ලොකු අකුරු නිසා ඈත සිට වුවද කතිකයාට කිසිම ප්‍රශ්නයකින් තොරව කථාව කරගෙන යා හැකිය. ඇමරිකා නායක බරක් ඔබාමාද ටෙලිප්‍රොම්ප්ටරය භාවිතා කරයි. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාද ටෙලිප්‍රොම්ප්ටරය භාවිත කළේය. බොහෝ කරුණු මතකයේ තබා ගත යුතු රූපවාහිනී නිවේදකයන් වෙනුවෙන් ටෙලිප්‍රොම්ටරය 1950 දී මුලින්ම හඳුන්වා දුන්නේ ෆ්‍රෙඩ් බාර්ට්න් (කණිෂ්ඨ) නම් නළුවාය.

අයිසන්හවර් ජනපති 1952 ජනපතිවරණයේදී ටෙලිප්‍රොම්ප්ටරය මුලින්ම පාවිච්චි කළ ඇමරිකා ජනපතිවරයා වශයෙන් ඉතිහාස ගතවේ.

කොළයක් බලාගෙන කථාවක් කිරීමේදී සිදුවන අවාසිය මග හැරවීමට ටෙලිප්‍රොම්ප්ටරය උපකාරී වේ. ටෙලිප්‍රොම්ප්ටරය අද අයිෆෝනය හා අයිපෑඩය දක්වා විකාශනය වී මහින්ද රාජපක්ෂ ලියාගෙන ආ කථාව ටෙලිප්‍රොම්ප්ටරයේ ආධාරයෙන් කියවීමට අදහස් කළ බව වේදිකාව සකසා තිබූ ආකාරයෙන් ඒ බව තාක්ෂණය ගැන දන්නා අයට පෙනිණි.

එහෙත් මහින්ද මුලදී ටෙලිප්‍රොම්ප්ටරය පාවිච්චි කළේ නැත. කථාවේ අවසාන භාගයේදී ඔහු ඒ පහසුකම යොදා ගත්තේය.

මෑතදී ඇමරිකා ජනපති බරක් ඔබාමා ටෙලිප්‍රොම්ප්ටරයෙන් කථාවක් කරගෙන යද්දී අලි අමාරුවක වැටුනේය.

ඔහු එකම දේ කිහිපවරක්ම කියන්නට විය. ඊට හේතුව වූයේ ඔහු කථාකළ වේගයට කථාව ඔහු ඉදිරියෙන් ඇති තිරයේ දිස් නොවීමයි. 

සල්ගාදු පිටියට බස්වලින් සෙනග නොඇද්ද බව සන්ධාන මහ ලේකම් රූපවාහිනී වැඩසටහනකදී දිවේ තොලේ නොගෑවී කීවේය. දැන් අපට බස් කොයින්ද? යනුවෙන් ඔහු ආඩපාලියක්ද කීවේය. සාල්ගාදු පිටියට පිටපළාත්වලින් ආ පිරිස් ක්ෂණිකව රජරැටියන් කිරීමද භාරගත් පිරිසක් වූහ. අනුරාධපුර ප්‍රබලයකුගේ නම සඳහන් කැප් තොප්පියක් බසය ළඟදීම හිසේ දමා ගැනීමෙන් ක්ෂණිකව රජරැටියකුවූ බව බොහෝ දෙනෙක් කියති. 

මහින්ද පුත් යෝෂිතගේ අණසක යටතේ තිබූ කාල්ටන් ස්පෝට්ස් රූපවාහිනී චැනලය මෙවර මහින්දට උදව් කළ බව නොපෙනුණි. සල්ගාදු පිටියේ මිනිසුන් නොසිටි තැන්ද සජීවී විකාශනයෙන් ප්‍රදර්ශනය විය. සල්ගාදු පිටියේ කී දෙනකුට සිටිය හැකිදැයි අනුරාධපුර වැසියෝ හොඳින්ම දනිති. එක්සත් ජාතික පක්ෂයත් බස්වලින් සෙනග ඇදීම නොකරනවා නොවේලු. අඩු ගණනේ දැන් බස්වලට සල්ලි ගෙවනවාලු. මිනිසුන්ගේ ගමන් බිමන් සඳහා දෙන බස් ඡන්ද රැස්වීම් පුම්බා මහ සෙනගක් ආ බව පෙන්වීමට ගෙන යන වැඩපිළිවෙළ ව්‍යක්ත බුද්ධිමත් දේශපාලනඥයන්ට තරම් නොවන්නක් බව විචාරකයෝ පෙන්වා දෙති.